මෙතෙක් හඳුනා නොගත් ඩයිනෝසර් විශේෂයක් එංගලන්තයේ වයිට් දූපතින් හමු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව තෙරපෝඩ් වර්ගයේ (කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා වූ ද්විපාද මාංශ භක්ෂක ඩයිනෝසර වර්ගයක්) ඩයිනෝසරයන්ගේ නව ප්‍රභේදයකට අයත් ඇටකටු හතරක් පසුගිය වසරේදී ෂන්ක්ලින්වලින් හමු වූ බව දකුණු ඇම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ෆොසිල විද්‍යාඥයන් පවසයි.

එම ඩයිනෝසර වර්ගය දිගින් මීටර 4ක් පමණ වූ බව ගණන් බලා ඇති අතර එම වර්ගය ජීවත් වී තිබෙන්නේ මීට වසර මිලියන 115කට පමණ පෙර බව විද්‍යාඥයන්ගේ මතයය. එම ඩයිනෝසර විශේෂයට Vectaerovenator inopinatus ලෙස නම් තබා ඇති අතර මාංශ භක්ෂක ද්විපාදික ඩයිනෝසරයන් සහ නවීන කුරුළු විශේෂයන් අයත් වන ඩයිනෝසර් කාණ්ඩයට එම විශේෂයද අයත් බව පිළිගැනේ.
මෙම නමෙන් යොමු දක්වන්නේ එම ඩයිනෝසරයන්ගේ බෙල්ලේ, කොන්දේ සහ වලිග ප්‍රදේශයේ ඇටකටුවල දක්නට ලැබෙන විශාල අවකාශයන්ය. මෙය විද්‍යාඥයන්ට තෙරපෝඩ් වර්ගය හඳුනාගැනීමට උපකාරවත් වන විශේෂ ලක්ෂණයක්ය. “මෙම අවකාශයන් පෙනහල්ලේම කොටස් වන අතර ආශ්වාස කිරීමේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා මේවා උපකාරවත් වූවා විය හැකිය” දකුණු ඇම්ප්ටන් විශ්වවිද්‍යාලය සඳහන් කරයි.
මෙම ෆොසිල හමු වී තිබෙන්නේ 2019දී වන අතර ඒ, අවස්ථා තුනකදීය. පසුව මේවා ප්‍රදර්ශනය කිරීම සඳහා නුදුරින් පිහිටි සෑන්ඩවුන්හී ඩයිනෝසර් අයිල් කොෟතුකාගාරයට භාර දී තිබේ. මේවා හමු වී තිබෙන්නේ රොබින් වෝඩ් නම් පුද්ගලයාටය. සාමාන්‍යයෙන් ෆොසිල පිළිබඳ පර්යේෂණ සිදු කරන තැනැත්තෙක් වන ඔහු තම පවුලේ සාමාජිකයන් සමඟ වයිට් දූපතට ගිය අවස්ථාවකදී මෙම සොයාගැනීම සිදු වී තිබේ.
“මෙම ෆොසිල සොයාගත් විට අප බොහෝ සතුටු වුණා” ඔහු පැවසීය.
“මීට පෙර අවස්ථාවක මම මුහුදු ජීවියෙකුගේ කෂේරුකාවක් සොයාගත්තා. නමුත් මෙය ඊට වඩා වෙනස්. මම වෙරළ දිගේ ඇවිදිමින් ගල්වලට පයින් ගසමින් සිටි මොහොතක ඩයිනෝසරයෙකුගේ කෂේරුකාවක් වැනි යමක් මගේ නෙත ගැටුණා. මම පුදුම වුණා. එය මෙතෙක් සොයා‍ නොගත් වර්ගයක් බව මට පසුව දැනගන්න ලැබුණා” ඔහු සඳහන් කළේය.
ඇම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙක් වන ක්‍රිස් බාකර් සඳහන් කළේ “මෙම සත්ත්වයා තුළ තිබූ වායුමය හිඩැස් දුටු විට අප පුදුමයට පත් වූවා. එම ඩයිනෝසරයාගේ ඇට සැකිල්ලේ කොටස් සියුම් විය යුතුයි. තෙරේපොඩ් වර්ගයේ ඩයිනෝසරයන් පිළිබඳව යුරෝපයේ ක්‍රිටේසියන් යුගයෙන් එතරම් වාර්තා වන්නේ නැහැ. ඩයිනෝසර විශේෂයන් පිළිබඳව අපගේ අවබෝධය පුළුල් කරගන්න ලැබීම ඉතා උද්‍යෝගය දනවන කරුණක්. සාමාන්‍යයෙන් ඩයිනෝසරයන්ගේ ෆොසිල මෙවන් ස්ථානයකින් හමු වීම ඉතා කලාතුරකින් සිදු වන දෙයක්. සාමාන්‍යයෙන් වැඩිපුර හමුවන්නේ බෙල්ලන්ගේ සහ පාවෙන ‍දැව කොටස්වල ෆොසිලයි.”
බොහෝවිට,  Vectaerovenator ජීවත් වී ඇතැයි සැලකෙන්නේ එම ෆොසිල සොයාගත් ස්ථානයට උතුරින්ය. ‍ෆොසිල විද්‍යාව පිළිබඳ පුවත්පත්වල මෙම සොයාගැනීම් පළ කිරීමට අදහස් කරන බවත් එම ලිපි සකස් කිරීමේදී මෙම සොයාගැනීම් සිදු කළ පුද්ගලයන් ඒවායේ සමකර්තෘවරුන් ලෙස කටයුතු කරන බවත් සඳහන්ය.
(බීබීසී ඇසුරිනි)
එස්.දහනායක