දුම්රිය සේවාව ප්‍රශස්ත මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සිය තනතුරුවලින් ඉවත්ව යා හැකි බවට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා දැඩිව අවධාරණය කරයි.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේය. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
දුම්රිය නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කිරීමට අදාළ නිලධාරීන් අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දුම්රිය මැදිරිවල පවතින දැඩි අඩුපාඩුකම් පිළිබඳව කරුණු ගෙනහැර දැක්වීය. ඇතැම් දුම්රියන්හි ජනේල වැසීමට නොහැකි බවත්, ජනේල වසා දැමූ විට ක්‍රියා විරහිත විදුලි පංකා හේතුවෙන් මගීන්ට දැඩි උණුසුමක් දරා ගැනීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය. ගාල්ලේ සිට කොළඹ දක්වා පැය දෙකහමාරක ගමනක් තුළදී එක් වැසිකිළියකවත් ජලය නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය තුළ, කාර්යාල සේවය සඳහා ගමන් කරන ජනතාවට අවම පහසුකම් සහිතව ගමන් කිරීමටවත් නොහැකි වීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කළ අමාත්‍යවරයා, මගී ජනතාව පිළිබඳව නිලධාරීන්ට කිසිදු තැකීමක් නොමැති බවට චෝදනා කළේය. ජා-ඇළ ප්‍රදේශයේදී සිය ජීවිතයේ පළමු දුම්රිය ගමනේ යෙදුණු කුඩා දරුවෙකුගේ ඇඟිලි දෙකක් දුම්රිය ජනේලයක් වැටීමෙන් කැපී ගිය සංවේදී සිදුවීමද ඔහු සිහිපත් කළේය.
එම සිදුවීමෙන් පසු තමන් එම දරුවාගේ පියාට කතා කළ අවස්ථාවේ, ''සර් මොකටද මේ රටේ ජීවත් වෙන්නේ'' යැයි ඔහු තමාගෙන් විමසූ බවද අමාත්‍යවරයා පැවසීය.
දුම්රිය මැදිරිවල පවතින වැසිකිළි, ජනේල සහ විදුලි පංකා සම්බන්ධයෙන් මාසයක් ඇතුළත යම් හෝ අලුත්වැඩියාවක් සිදු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ සියලු නිලධාරීන්ට නියෝග කළ අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දින තුනක් ඇතුළත තමා වෙත 'වට්ස්ඇප්' පණිවිඩයක් මගින් දැනුම් දෙන ලෙසද දැන්වීය. මෙය තමා ලබාදෙන අවසන් අවවාදය බවත්, නිසි සේවාවක් ලබා දීමට නොහැකි නම් ඉවත්ව යන ලෙසත් තමා දැඩිව පවසන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval