
ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ද්‍රව්‍ය, විශේෂයෙන්ම සම සුදු කරන ආලේපන වෙළෙඳපොළේ ඉවත්කිරීම බලාත්මක කිරීම සඳහා වන නව රූපලාවණ්‍ය පනත් කෙටුම්පතක් මෙම වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මෙම පනත සම්මත වීමෙන් පසු නීති විරෝධී ආලේපන භාවිතය සහ අලෙවිය තහනම් වනු ඇති බවයි.
පසුගිය වසර තුන තුළ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රූපලාවණ්‍ය ආලේපන වර්ග 9,000ක් පමණ ලියාපදිංචි කර ඇති බවද ඇය හෙළි කළාය.
රසදිය වැනි විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු සම සුදු කරන ආලේපන දිගුකාලීනව භාවිත කිරීම දියවැඩියාව සහ වකුගඩු රෝග ඇතුළු බරපතළ රෝගාබාධ රැසකට හේතු විය හැකි බවට විශේෂඥ වෛද්‍යවරිය අනතුරු ඇඟවීය. සම මත ආලේප කරන විෂ ද්‍රව්‍ය රුධිරයට එක්වී මුළු ශරීරයම රෝගී කරන බවද ඇය පෙන්වා දුන්නාය.
ගර්භණී මවුවරුන් මෙවැනි ආලේපන භාවිත කිරීමෙන්, ඉපදෙන දරුවාට ඉගෙනීමේ දුර්වලතා, මතකය අඩුවීම, සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රමාද වීම සහ හැසිරීමේ ගැටලු වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඇය අවධාරණය කළාය. එමෙන්ම, ළදැරියන්ගේ සමෙහි පවුඩර් ආලේප කිරීම ඩිම්බකෝෂ පිළිකා අවදානමක් ඇති කළ හැකි බැවින් කුඩා දරුවන්ට පවුඩර් සහ කොලෝන් භාවිතයෙන් වළකින ලෙසද ඇය ඉල්ලා සිටියාය.
රූපලාවණ්‍යාගාර (සැලෝන්) තුළ සම සුදු කරන ආලේපන නිෂ්පාදනය කිරීමට කිසිදු නීතිමය අවසරයක් නොමැති බව අවධාරණය කළ වෛද්‍ය කහවිට මහත්මිය, එවැනි ස්ථානවලින් ලබාදෙන නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම පාරිභෝගිකයා සතු වගකීමක් බවද කියා සිටියාය. ශාකසාර නිස්සාරකවලින් නිෂ්පාදනය කළද ඇතැම් ආලේපන ශරීරයට අහිතකර විය හැකි බැවින් ඕනෑම රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් භාවිත කිරීමේදී පාරිභෝගිකයන් වඩාත් සැලකිලිමත් විය යුතු බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval