friend-was-beaten-with-a-bottle-and-drowned-to-death

 මිතුරෙකු සමඟ ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් බෝතලයකින් පහරදී ඇළක ගිල්වා ඝාතනය කරන ලද 45 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.



තිස්සමහාරාම පොලිස් වසමට අයත් සඳුන්ගම, ප්‍රගති මාවත ප්‍රදේශයේ ඇළක තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ ඊයේ (17) සවස් කාලයේ පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදීය. මියගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මූලික පොලිස් විමර්ශනවලට අනුව,

මියගිය පුද්ගලයා සහ ඔහුගේ මිතුරෙකු අතර ඇති වූ ආරවුලක් මත සැකකාර මිතුරා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. එහිදී බෝතලයකින් පහර දීමෙන් අනතුරුව සැකකරු විසින් මරණකරු දියේ ගිල්වා ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ 24 හැවිරිදි මිතුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, තිස්සමහාරාම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.