caught-selling-cigarettes-to-school-students

 පාසල් සිසුන්ට තීරුබදු රහිත විදේශීය දුම්වැටි අලෙවි කළ සූරියවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු, තණමල්විල අධ්‍යාපන කලාපයේ පාසල් සිසුවෙකුගෙන් ලද තොරතුරක් මත තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



මෙම සිදුවීමේ ආරම්භය සනිටුහන් වී ඇත්තේ අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් 9 වන ශ්‍රේණියේ සිසුන් කණ්ඩායමකට විදේශීය දුම්වැටි අලෙවි කිරීමත් සමඟය. ඒ පිළිබඳව වෙනත් සිසුවෙකුගෙන් ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ විදුහල්පතිවරයා, සිසුන්ගෙන් සිදුකළ විමසීමකදී එක් සිසුවෙකු සතුව තිබී විදේශීය දුම්වැටි දෙකක් සොයාගෙන ඇත. අනතුරුව විදුහල්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.



ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, අදාළ සිසුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එහිදී ප්‍රධාන සිසුවා තමන් මෙම දුම්වැටි සූරියවැව නගරයේ බස් නැවතුම්පොළ පිටුපස පිහිටි සිල්ලර වෙළෙඳසැලකින් මිලදී ගන්නා බවට හෙළිදරව් කර ඇත.

ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, අදාළ සිසුවා ද සමඟ සූරියවැව ප්‍රදේශයේ පිහිටි එම වෙළෙඳසැල වටලා සිදුකළ සෝදිසියකදී, වෙළෙඳසැල තුළ තිබී විදේශීය දුම්වැටි 690ක් සහ ඒවා අලෙවියෙන් උපයාගත් රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරු සූරියවැව නව නගරයේ පදිංචිකරුවෙකු වන අතර, මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙවැනිම නීති විරෝධී දුම්වැටි ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති අයෙකු බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙළෙඳසැල් හිමිකරු විසින් එක් දුම්වැටියක් රුපියල් 100ක මුදලකට අලෙවි කර ඇති අතර, එය මිලදී ගන්නා පාසල් සිසුවා විසින් පාසල තුළදී එක් දුම්වැටියක් රුපියල් 200 බැගින් අනෙකුත් සිසුන්ට අලෙවි කර ඇති බවට තොරතුරු වාර්තා වේ.



ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් එම්. ගුණවර්ධන සහ තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත, තණමල්විල පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළින, පොලිස් සැරයන්වරුන් වන කුමාරරත්න (40156), භවන්ත (104486), පද්මසිරි (5250) සහ පොලිස් කොස්තාපල් ලක්ෂාන් (19556) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.