කරන්දෙනිය , කොටවෙල ප්‍රදේශයේ පසුගිය 11 වැනිදා සවස මවක සහ පුතකු කපාකොටා ඝාතනය කිරිමට සම්බන්ධ සැකකරු තියුනු ආයුධයක් සමග කරන්දෙනිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙයි.
නිවස තුල දි තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට කැපුම් තුවාල සිදුකර 75 වන වියේ මව හා 25 හැවිරිදි පුතා ඝාතනය කර තිබිය දී කරන්දෙනිය පොලිසිය සොයාගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අසල්වැසි නිවසේ පදිංචි අයකු වන අතර කසිප්පු ජාවරම සහ කපාකොටා ප්‍රදේශවාසීන් බිය වැද්දිම්වලට අදාල නඩු පවතින කොටියා කුමාර නැමැත්තෙකු බව පොලිසිය පවසයි.
ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් කරන්දෙණිය පොලිස් වසමේ බොහෝදෙනකු අතමිට සරුකර ගන්නේ කුරුඳු රස්සාවෙනි. එම ප්‍රදේශයේ කුරුඳු ඉතාම සරුසාරව වගාකර තිබේ. කුරුඳු වගාවෙන් මෙන්ම කුරුඳු කැපීමෙන්, තැළීමෙන්ද විශාල පිරිසක් සිය ජීවනෝපය සරිකර ගනිති. මීට වසර කිහිපයකට පෙර කරන්දෙණිය පොලිස් වසම තුළ කපාකොටා ගැනීම්, වෙඩි තැබීම්, මිනිස් ඝාතන ආදිය වාර්තා වුවද මේ වන විට එම තත්ත්වය පාලනය වී තිබේ. කෙසේ වෙතත් ඉකුත්දා කරන්දෙණිය, කොටවෙල ප්‍රදේශයෙන් වාර්තා වූ බිහිසුණු ද්විත්ව මිනිස් ඝාතනයත් සමඟ මුළු කොටවෙල ග්‍රාමයම කිසියම් තිගැස්සීමකට ලක්විණි.
සිද්ධිය පොලිසියට සැලකරන්නේ කොටවෙල ග්‍රාමයේම පදිංචි තරුණ කාන්තාවක් විසිනි. සිද්ධිය සැලවීමත් සමඟ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලිහිනියකුල ඇතුළු නිලධාරීන් වහා කොටවෙලට ගිය අතර එලෙස ගිය නිලධාරීන්ට දක්නට ලැබුණේ නිවෙසක් තුළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු කපාකොටා ඉතා අමානුෂික ලෙස මරා දමා ඇති බවකි. මුළු නිවෙසම සිරුරුවලින් ගලාගිය රුධිරයෙන් තෙත් වී තිබිණි. නිලධාරීන් වහා මේ බව කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති වරුෂවිතානවද දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශන ඇරැඹිණි.
“මම දැක්කා කොටියා කුමාර මන්නයක් අරගෙන ඒ ගෙවල් පැත්තේ ඉඳගෙන මේ පැත්තට එනවා. මම හිතුවා එයා අපිට කරදරයක් කරයිද දන්නේ නැහැ කියලා. ඒ නිසා මමත් ගෙදර දොර වහගත්තා. ඒත් එක්කම ඒ ගෙවල් පැත්තෙන් ගෑනු කෙනෙක් කෑගහන සද්දයක් ආවා…” පොලිසියට තොරතුරු දුන් කාන්තාව නිලධාරීන් ඉදිරියේ කියන්නට වූවාය. තවදුරටත් ඇගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ සිද්ධියට මොහොතකට පෙර කොටියා කුමාර නමැත්තා ඇගේ නිවෙසට පැමිණ ඔහුගේ කුඩා දරුවා ඉල්ලා කරදර කළ බවකි. දරුවාට වයස අවුරුදු හතරකි.
“ඔයා හොඳටම බීලා ඉන්නේ. අක්කා දරුවා අපිට භාරදීලා තියෙන්නේ. අපිට ඔයාට දරුවා දෙන්න බැහැ…”
ඇය කොටියා කුමාර ඉදිරියේ කියන්නට වූවාය. ඉන් කෝපයට පත් ඔහු එතැනින් ඉවත්ව ගිය අතර ද්විත්ව ඝාතනය සිදුවන්නේ ඉන් අනතුරුවය.
මෙම සිද්ධියෙන් මරණයට පත්වන්නේ 74 හැවිරිදි කොලහකුරු ගුණවතී සහ 25 හැවිරිදි චතුරංග දිසානායක නමැති ඇගේ පුත්‍රයාය.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නිලධාරීහු ඉන් අනතුරුව පියවර ගත්හ. ඇල්පිටිය වැඩබලන මහෙස්ත්‍රාත් මුනිදාස හාල්පන්දෙණිය මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා මව සහ පුතු ඝාතනය කෙලෙස සිදුවීද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමුකරනු ලැබීය.
කෙසේ වෙතත් ඒ වනවිට පොලිසියට ලද තොරතුරු මත ද්විත්ව ඝාතනයේ සැකය එල්ල වූයේ කොටියා කුමාර වෙතය. ඔහු විවාහකය. බිරිය විදේශ රැකියාවකට ගොස් සිටින්නීය.
කොටියා කුමාර එතරම් හොඳ චරිතයක් ඇත්තකු නොවන බව පොලිසිය කියයි. ඔහු කලක් කුරුඳු මණ්ඩිවල කසිප්පු පෙරුවේය. කසිප්පු වික්කේය. පොලිසියටද කොටු වූ අවස්ථා ඇත. ඒ අතර අනියම් සබඳකමක්ද පවත්වා ඇත්තෙක්ය.
මෙවන් තොරතුරු මත විමර්ශනයට ඊට පසුදාම එක්වූ කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති වරුෂවිතානද සිය කණ්ඩායම සමඟ කොටියා කුමාර ගැවසෙන තැන් සොයන්න වූහ. නිලධාරීන්ගේ සැකය කොටියා කුමාරටත් එල්ල වුවද ඔහු මෙම ද්විත්ව ඝාතන සිදුකළේ ඇයිද යන්නට කිසිදු අයුරකින් හෝඩුවාවක් නොවීය.
මේ අතර මෙම සිද්ධියෙන් පසු මුළු කොටගල ගම්මානය පුරාම කිසියම් භීතියක්ද ඇති විය. ඒ කොටියා කුමාර නිදැල්ලේ සිටීම නිසාය. එමෙන්ම බොහෝ පිරිස් මොහුට දැක්වූයේද කිසියම් බියකි.
“සර් මේ පුද්ගලයාට සමාවක් නම් දෙන්න එපා. අපි ගමේ ඉන්නෙත් බයෙන්. අපිටත් ඔය දේම කරයිද දන්නේ නැහැ. අනේ සර් කොහොමහරි ඕකව අල්ලා දඬුවම් කරන්න.”
ගමේ බොහෝ පිරිස් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමෙන් ඉල්ලා සිටියහ. එහෙත් කොටියා කුමාර සැඟවුණු දිශාවක් සොයා ගැනීමට කිසිවකුටත් හැකි වූයේ නැත. ඔහු කුරුඳු මණ්ඩියකට පැනගොස් සැඟව සිටින බවට ලද තොරතුරු මත බුද්ධි නිලධාරීන් මෙන්ම විශේෂ කාර්යාංශ නිලධාරීහුද විමර්ශනයට එක්ව සිටියහ.
“අපිට මේ මරණ හරිම ප්‍රහේලිකාවක්. මොකද කොටියා කුමාර ඔය සිද්ධියට සැක කළාට ඔය අම්මයි පුතයි දෙන්නත් එක්ක කොටියා කුමාරගේ ආරවුලක් තිබුණේ නැහැ. අඩුතරමින් පොලිසියට පැමිණිල්ලක්වත් ලැබිලා තිබුණේ නැහැ”
විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය.
මේ අතර මෙම මව සහ පුතු ඝාතනය කර ඇත්තේ ඔහුගේ කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් ඔත්තුවක් දීම නිසා බවට සඳහන් මාධ්‍ය වාර්තාද පළ විණි. එහෙත් පොලිසිය කීවේ එවන් තොරතුරක් පොලිසිය වෙත ලැබී නැති බවය. මෙවන් තොරතුරු ප්‍රචාරය වීමත් සමඟ මෙහි ඇත්ත නැත්ත දැනගැනීම සඳහා කොටියා කුමාර අත්අඩංගුවට ගත යුතු බවත් නිලධාරීන් ඔහු සැඟව සිටින තැන් සොයා විමර්ශන සිදුකළේය.
මෙලෙස මෙහෙයුම් දියත් වෙද්දී විමර්ශන නිලධාරියකුට එක්තරා පුද්ගලයකු ඔත්තුවක් දුන්නේ ඔය අතරය.
“සර් මම දැක්කා ඕකා කැලේ කොලේ පැත්තේ ඉන්නවා. හොඳටම කසිප්පු බීලා හිටියේ. මිනිහා මාව හඳුනගත්තේ නැති වුණාට මම මිනිහව හඳුනගත්තා. මට මුහුණට මුහුණ හම්බ වුණා. මට කිව්වා මාව අල්ලන්න ආවොත් මම මරාගෙන මැරෙනවා කියලා.
“සර් දැන්ම කැලේ කොලේට ගියොත් ඕකව අල්ලගන්න පුළුවන්. හොඳටම බීලා හිටිය නිසා ඕකා වැඩිදුර යන්නේ නැහැ.” ලැබුණු තොරතුර අත් නොහළ නිලධාරීන් වහා කැලෑකොළ ප්‍රදේශයට ගොස් කොටියා කුමාර අත්අඩංගුවට ගත්තේය. ඒ වන විටත් ඔහු සිටියේ හොඳ පදමේය.
නිලධාරීන් ඔහු කුදළාගෙන පොලිසියට රැගෙනවිත් ප්‍රශ්න කිරීම ඇරඹුණේය. මව සහ පුතු ඝාතනයට යොදාගත් තියුණු ආයුධය නිලධාරීන් සොයාගත්තේ ඉන් අනතුරුවය.
“ඇයි උඹ ඒ මිනිස්සු දෙන්නව මැරුවේ” නිලධාරීහු කොටියා කුමාරගෙන් ප්‍රශ්න කළහ.
“මම මැරුවේ අහවලාගේ කීමට” ඔහු නිලධාරීන්ට කීවේය. සැකකරු ගමේ තවත් පුද්ගලයකුගේ නමක් කීවේය. ඔහුද මෙම මව සහ පුතා ළඟින් ඇසුරු කළ අයෙක් බව විමර්ශනයේදී හෙළි විය. ඒ අනුව කොටියා කුමාර පොලිසියට කීවේ කොන්ත්‍රාත්තුවක් මත මෙම ද්විත්ව ඝාතනය සිදුකළ බවය. එහෙත් විමර්ශන නිලධාරීන් සැකකරුගේ කතාව විශ්වාස කළේ නැත. කෙසේ වෙතත් සැකකරුගේ ප්‍රකාශය මත එම පුද්ගලයාද සැකපිට අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කළේය. එහෙත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එවන් කොන්ත්‍රාත්තුවක් සම්බන්ධ තොරතුරක්ද හෙළි වූයේ නැත.
මේ අතර නිලධාරීන් සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් ද්විත්ව ඝාතනය සිදු කළ මොහොතේ ඔහු හැඳ සිටි ඇඳුම් ගැන විමසුවේය. ඒ එම ඇඳුම්වල අනිවාර්යෙන්ම රුධිරය තැවරී ඇති බවට නිලධාරීන් හොඳාකාරව දන්නා නිසාය. එම ලේ තැවරුණු ඇඳුම් විමර්ශනයට වැදගත් සාක්කියක් වන නිසා නිලධාරීන් එම ඇඳුම් කොහේදැයි විමසමින් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය.
“මම ඔය සිද්ධියෙන් පස්සේ… යාළුවගේ ගෙදරට ගිහිල්ලා නෑවා. නාලා ලේ ගෑවුණු සරමත් සෝදලා යාළුවගේ වැලේ වේළෙන්න දැම්මා.” සැකකරු කීවේය. නිලධාරීන් සැකකරුගේ මිතුරාගේ නිවෙස වෙත ගියේ ඉන් පසුවය. එහෙත් එම ඇඳුම මිදුලේ වැලේ නොවීය. නිලධාරීන් එම මිතුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය.
“මට ආරංචි වුණා සර්, ඔය සිද්ධිය. මම ගෙදර ආවා. එතකොට ඕකා හිටියේ නැහැ. මම දැක්කා ලේ ගෑවුණු සරම මූ හෝදලා වැලේ දාලා තියෙනවා. මම බය වුණා. මම ඒක අරගෙන ගිහින් මඩේ ඔබලා හැංගුවා. ඔහු නිලධාරීන්ට කීවේය. ඔහුගේ ප්‍රකාශය මත රුධිරය සහිත එම සරමද නිලධාරීන් සොයාගත්තේය.
ඒ අනුව මව සහ පුතු ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කොටියා කුමාර ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට අහවරය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීව අත්බෝම්බයක් සමඟය. එහෙත් මව සහ පුතු ඝාතනයට නිශ්චිත හේතුවක් තවමත් නිලධාරීන් සතුව නැත. එය තහවුරුකර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.
ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණියගේ උපදෙස් මත කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පූජිත වරුෂවිතානගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. ලිහිනියකුල ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත් වූහ.
කීර්ති මෙන්ඩිස්
Comments
Post a Comment
Your comment will be visible after approval