ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 2025 සැප්තැම්බර් 16 වන දා සිට 18 වන දා දක්වා එක්සත් රාජධානියේ සිය දෙවන ඓතිහාසික රාජ්‍ය සංචාරය ආරම්භ කළේය. බ්‍රිතාන්‍ය රජෙකු විසින් දෙවන වරටත් රාජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් ලැබූ ප්‍රථම ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.
වින්ඩ්සර් මාලිගයේදී තුන්වන චාල්ස් රජු විසින් ජනාධිපති ට්‍රම්ප් සහ මෙලානියා ආර්යාව උණුසුම් ලෙස පිළිගත් අතර, එහිදී ඔවුන් උත්සවාකාර පිළිගැනීමක්, ආචාර වෙඩි මුර, හමුදා සම්මාන පෙළපාලියක්, අශ්ව රථ පෙරහැරක් සහ රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහයක් ඇතුළු සම්ප්‍රදායික රාජකීය උත්සව රැසකට සහභාගී වූහ.මෙම සංචාරය රාජකීය උත්සවශ්‍රීයෙන් පමණක් නොව, වෙළෙඳ සහ තාක්ෂණික සාකච්ඡා සඳහා ද විශේෂ වැදගත්කමක් ඉසිලීය. දෙරටේ තාක්ෂණික කර්මාන්ත අතර සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගත් සුවිශේෂී තාක්ෂණික ගිවිසුමකට එක්සත් රාජධානිය සහ ඇමරිකාව අත්සන් තැබීමට නියමිතව තිබිණි. ඊට අමතරව,
බ්‍රිතාන්‍ය වානේ සඳහා පනවා ඇති තීරුබදු අඩු කිරීම් සහ බ්ලැක්රොක් සමාගම විසින් බ්‍රිතාන්‍ය දත්ත මධ්‍යස්ථාන සඳහා සැලසුම් කර ඇති ඩොලර් මිලියන 700ක ආයෝජනය වැනි කරුණු ද වෙළෙඳ සාකච්ඡාවලට ඇතුළත් විය.
සැප්තැම්බර් 16 වන දා සන්ධ්‍යාවේ ලන්ඩන් ස්ටැන්ස්ටෙඩ් ගුවන්තොටුපළ වෙත ළඟා වූ ජනාධිපති ට්‍රම්ප්, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් සහ ඇමරිකානු තානාපති වොරන් ස්ටීවන්ස් විසින් පිළිගනු ලැබිණි. වින්ඩ්සර් මාලිගයේ ප්‍රධාන උත්සව වලට සහභාගී වීමට පෙර ඔහු රීජන්ට්ස් පාර්ක් හි පිහිටි ඇමරිකානු තානාපති නිල නිවස වන වින්ෆීල්ඩ් හවුස් හි රාත්‍රිය ගත කළේය. මෙම සංචාරය අතරතුර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් මහතා සමග චෙකර්ස් හිදී ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබිණි.
ඇතැම් භූ දේශපාලනික කරුණු සම්බන්ධයෙන් දෙරට අතර මතභේද පැවතිය ද, අත්ලාන්තික් සාගරයෙන් දෙපස ශක්තිමත් සබඳතා ප්‍රදර්ශනය කිරීම බ්‍රිතාන්‍ය රජයේ අරමුණ විය. මෙම සංචාරය අතරතුර, විශේෂයෙන් වින්ඩ්සර් සහ මධ්‍යම ලන්ඩන් ප්‍රදේශවල මහජන විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරිණි. ඇමරිකා එක්සත් ජනපදයේ 250 වන සංවත්සරය සැමරෙන ඓතිහාසික පසුබිමක් තුළ, වෙළෙඳ සහ තාක්ෂණික සහයෝගීතාව කේන්ද්‍ර කරගත් දෙරට අතර "විශේෂ සබඳතාව" අලුත් කිරීමේ ප්‍රයත්නයක් ලෙස මෙම සංචාරය කැපී පෙනුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval