gossiplanka image 1

බීමත්ව, නොසැලකිලිමත් ලෙස මෝටර් රථයක් ධාවනය කර තවත් රථයක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, ජනප්‍රිය නිරූපිකා පියුමි හංසමාලිගේ පෙම්වතා හෝ සැමියා බව කියන වෙනුර රොද්‍රිගූ ට මහේස්ත්‍රාත්වරිය විසින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

සැකකරුගේ ඇපකරුවාගේ පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කරන ලෙසත්, සැකකරුට නුගේගොඩ ජාතික ප්‍රවාහන මණ්ඩලය වෙත ඉදිරිපත් වී කායික හා මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසත් මහර මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය ඊයේ (09) නියෝග කළාය.



අනතුරින් සුළු තුවාල ලැබූ 26 හැවිරිදි එච්.ඒ. අනුරාධා දිල්රුක්ෂි නමැති කාන්තාවට රුපියල් පනස් දහසක සානුකම්පිත දීමනාවක් ගෙවීමටද මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. බී.කේ. ඇන්ටන් වෙනුර හේෂාන් රුද්‍රිගු නමැති සැකකරුට මෙම ඇප සහ සානුකම්පිත දීමනා ගෙවීමට සිදුවනු ඇත. සුළු තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

අනතුර සිදුවූ අවස්ථාවේ සැකකරු බීමත්ව, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කළ බව පොලිසියේ මූලික විමර්ශනවලදී හෙළිවී ඇති බවත්, මේ වනතෙක් ඔහු අගතියට පත් පාර්ශ්වයට සානුකම්පිත දීමනාවක් ලබා දී නොමැති බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුගත් තල්වත්තේගේදර මහතා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා බීමත්ව සිටි බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

සැකකරු පැමිණිලි පාර්ශ්වයට කිසිදු තර්ජනයක් හෝ බලපෑමක් සිදු කර නොමැති බවත්, සුළු තුවාල ලැබූ කාන්තාව වෙනුවෙන් නියම කරන ඕනෑම සානුකම්පිත දීමනාවක් ලබා දීමට කටයුතු කරන බැවින් සැකකරුට කොන්දේසි සහිතව ඇප ලබා දෙන ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඉහත සඳහන් නියෝග නිකුත් කර, නඩුව නැවත ඔක්තෝබර් 28 වැනිදා කැඳවීමට නියම කළාය.