[Trending][btop]
[News][stack]

කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ සිසුන් මිලියන ගණනකගේ අධ්‍යාපනයට වැට

න්දියාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මාස 5ක් පුරාවට පාසැල් වැසී ගොස්ය. ප්‍රතිඵලයක් ලෙස සිසුන් මිලියන ගණනකට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වේ.
ආසාදිතයන් මිලියන 2.4කට ආසන්න ප්‍රමාණයක් සහ මරණ 47,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන ඉන්දියාව, කොරෝනා වෛරසයෙන් දරුණුම පහර කෑ තුන්වන රට බවට පත් වී තිබේ. බොහෝ පෞද්ගලික පාසැල් විසින් ඔන්ලයින් පන්ති ආරම්භ කර තිබෙන
මොහොතක අන්තර්ජාල, දුරකථන, රූපවාහිනි, පරිඝනක පහසුකම් හා විදුලි බලය පවා නොමැති සිසුන් මිලියන ගණනක් ඉන්දියාවේ සිටින බව කියැවේ. ඉන්දියාවේ ජීවත් වන පුද්ගලයන්ගේ නිවෙස් අතරින් පරිඝනක හෝ අන්තර්ජාල සබඳතා තිබෙන්නේ සියයට 8කට පමණය.

“විදුලි සැපයුමත් ගැටලුවක්. ඉන්දියාවේ පිහිටා තිබෙන නිවෙස් අතරින් භාගයකට වැඩි ප්‍රමාණයකට දිනකට විදුලි සැපයුම තිබෙන්නේ පැය 12ක් පමණයි” ඉන්දියාවේ අගනගරය වන නව දිල්ලියේ සිට එලිසබෙත් පුරානම් විසින් අල් ජසීරා වෙබ් අඩවියට වාර්තා කර තිබේ. “මෙම අභියෝග හේතුවෙන් තාක්ෂණයට පිවිසිය නොහැකි මෙවන් දරුවන්ට ඉගැන්වීම සඳහා ඇතැමුන් පන්ති පවත්වනවා.”
ඉන්දියාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වන සත්යේන්ද්‍ර පාල් ශාඛ්‍ය යනු එවන් තැනැත්තෙක්ය. ඔහු වසර පහක් පුරාවට නව දිල්ලියට අසල්වැසි දරිද්‍රතාවයෙන් පෙළෙන සිසුන් ජීවත් වන ප්‍රදේශයක තාවකාලික පිදුරු සෙවිලි පැලක් තුළ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.

“මාස පහකට පෙර ඉන්දියාවේ පාසැල් වසා දැමූ විට මෙම මධ්‍යස්ථානය පෙරටත් වඩා වැදගත්කමක් ඉසිලූ” බව ශාඛ්‍ය විසින් අල් ජසීරා වෙත සඳහන් කර තිබේ. “බොහෝ සිසුන්ට ලැප්ටොප්, ටැබ්ලට්, ස්මාට් දුරකථන වැනි පහසුකම් නොමැති බව ඔන්ලයින් පන්ති ආරම්භ කළ විට අප දුටුවා. ඇතැමුන්ට ඒවා තිබුණද විදුලි සැපයුම නොමැති වීම හේතුවෙන් ඒවා චාජ් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ” ඔහු පැවසීය.
ශාඛ්‍ය පවත්වන ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව පන්තිවලට සිසුන් 100ක් පමණ සහභාගි වන අතර ඉගැන්වීම සඳහා තවත් 6දෙනෙකුද ඔහුට සහය වෙයි.

“මම මේ පන්තිවලට ගොඩක් කැමතියි. හේතුව, ‍එහි ගුරුවරයාට මම ඇත්තටම කැමතියි. ඔහු අපිට ගොඩක් හොඳින් උගන්වනවා” කිරාන් ශාඛ්‍ය නම් එම මධ්‍යස්ථානයෙන් ඉගෙනුම ලබන සිසුවෙකු පැවසීය. බ්‍රිජේශ් ශාඛ්‍ය නම් තවත් සිසුවෙකු සඳහන් කළේ, “මෙම පන්ති තිබුණේ නැත්නම් අපට ඉගෙනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එවිට අපේ අධ්‍යාපනය මෙන්ම මොළයද පිරිහීමට ලක් වේවි.”
ශාඛ්‍යා සහ ඔහුගේ ශිෂ්‍යයන් දිවි ගෙවන්නේ නව දිල්ලියට අසල්වාසි ගම්මානයක වන අතර එහි බොහෝ පුද්ගයන් දිවි ගෙවන්නේ තාවකාලික නිවහන්වලය. ඇතැමුන්ට සීමිත විදුලි සැපයුමක් තිබෙන අතර තවත් පුද්ගයන්ට විදුලිය ඇත්තේම නැත. මෙම පන්තිවලට සහභාගි වීම සඳහා ඇතැම් සිසුන් අසල්වැසි ප්‍රදේශවල සිට මීට පයින් පැමිණෙනු දැකිය හැකිය.

ඉන්දියාවේ ඩිජිටල් බෙදීම

වසංගතය ප්‍රදේශ ආක්‍රමණය කරද්දී ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල සිසුන් තම අධ්‍යාපන අවශ්‍යතා සපුරාගැනීමේ සටනක නියුතු බව සඳහන්ය. නමුත් කේරළයේ තත්ත්වය මීට වඩා යම් දුරකට යහපත් බව සඳහන් වේ. ඔන්ලයින් හෝ රූපවාහිනිය හරහා පැවැත්වෙන පන්ති සහ කලින් පටිගත කරන ලද පන්තිවලට සහභාගි වීමට නොහැකි ශිෂ්‍යයන් වෙනුවෙන් කේරළයේ තාවකාලික පන්ති සූදානම් කර තිබෙන බව වාර්තා වේ. නිමිෂා පුල්ලුම්රම්පාර නම් සිසුවා අල් ජසීරා වෙත පැවසුවේ “මෙම ඔන්ලයින් පන්තිවල උගන්වන දේවල් තේරුම්ගැනීම ඉතා පහසුයි. අපට තේරුම්ගැනීමට අපහසු යමක් තිබෙනවා නම් අපට උපකාර කිරීම සහ මඟ පෙන්වීම සඳහා ගුරුවරු සිටිනවා. අප මෙම පන්තිවලට ඉතා කැමතියි” කියාය.

නමුත් විශේෂඥයන් පවසන්නේ අගුළු දැමීම හේතුවෙන් තවත් මිලියන ගණනක් ඉන්දියානු සිසුන්ට අධ්‍යාපනය මඟහැරෙන බවය. එමනිසා විශාල ඩිජිටල් බෙදීමක් ඇති වන බව සඳහන්ය. සහන මිලට මෙම උපාංග මිලට ගැනීමට සහ අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට ඔවුන්ට සහාය අවශ්‍ය බව ඩිජිටල් බලගැන්වීමේ පදනමේ ඔසාමා මන්සාර් සඳහන් කර තිබේ.

(“අල්ජසීරා” වෙබ් අඩවියේ සඳහන් වූ එළිසබෙත් පුරානම් විසින් සකස් කළ වාර්තාවක් ඇසුරිනි)
එස්.දහනායක