ජූලි මස මැද හරියේ සෙනසුරාදා දිනක මිකායෙල් නමින් පෙනී සිටි 20 හැවිරිදි තරුණයා ඔහුගේ ආච්චිට වීඩියෝ ඇමතුමක් ලබා ගෙන ඇයට අවශ්‍ය සියලු දේ තිබෙනවාද යන්න සොයා බැලුවේය. ඉන්පසුව තවත් පුද්ගලයන් 3000ක් පමණ සමඟ ඔහු නීති විරෝධී සාදයකට සහභාගි වීම සඳහා පිටත්ව ගියේය.
“අපි හිතුවේ, අපෙන් කිසිවෙක් මහලු පුද්ගලයන් සමඟ ජීවත් වෙන්නේ නැහැ
කියා පමණය. තිබෙන නීතිද ඉතා පැටලිලි සහගතය. මං නිසා වෙනත් පුද්ගලයෙකු රෝගී වේයැයි මා සිතන්නේ නැත” මයිකල් අදහස් දැක්වීය. එදින පැවති සාදය තමා “මෙතක් සහභාගි වී ඇති සුපිරිම සාදවලින් එකක්” බව මිකායෙල් පැවසීය. සාදයෙන් දින කිහිපයකට පසුව නැවතත් ආච්චිට ඇමතුමක් ලබාගත් මිකායෙල්, වෙළඳසැලට යන විට මුහුණු ආවරණය පැළඳ යන ලෙස ඇයට මතක් කළේය.
නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූවායින් පසුව මෙවන් බොහෝ සිදු වීම් අසන්නට දකින්නට ලැබීය.

වගකීමකින් තොරව කටයුතු කරන තරුණයන් විශාල සාදයන් පවත්වන අයුරු සහ කණ්ඩායම් වශයෙන් විනෝද චාරිකා යන අයුරු දක්නට ලැබීය. නමුත් මිකායෙල් සම්බන්ධ මෙම සිදු වීම යොදාගන්නේ කොරෝනා වෛරසය අතරතුර විවිධ වයස් කණ්ඩායම් අතර ඇති වූ බැඳීම සහ සැලකිල්ල විග්‍රහ කිරීමටද නැත්නම් නොසැලකිලිමත් බව විග්‍රහ කිරීමටද යන්න කර්තෘ ප්‍රශ්න කරයි.
ඇබර්ඩීන්වල සුරාසැල්වල වසංගතය ව්‍යාප්ත වන අයුරුත් බටහිර එංගලන්තයේ නෑදෑයන් බැලීමට නිවෙස්වලට ගිය පුද්ගලයන් අතර එය පැතිර යන අයුරුත් දක්නට ලැබූ බව වාර්තා විය. මෙම සති අන්තයේදී ප්‍රෙස්ටන් නගර කවුන්සිලය සඳහන් කළේ “වයස්ගත පුද්ගයන්ව මරන්න එපා” කියා පණිවිඩයක් මූලිකවම තරුණ පිරිසට ලබා දීමට සිදු වූ බවය.
වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ට නිවසටම වී සිටින ලෙස නි‍යෝගයක් නිකුත් කිරීම පිළිබඳව සලකා බැලීමට බොරිස් ජොන්සන් සූදානමින් සිටින බව ඉරු දින විදෙස් පුවත්පත්වල සඳහන් විය. මීට විරෝධය එල්ල වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.

“50න් ඉහළ පුද්ගලයන්ව ලොක් ඩවුන් කිරීමට පෙර තරුණයන්ගේ සමාජ දුරස්ථභාවය ඇති කරන්න” කියා බොරිස්ට අනතුරු ඇඟවීම් එල්ල වී ඇති බව සඳහන්ය.
“මුල් ලොක්ඩවුන් කාලයේ දක්නට ලැබූ විශිෂ්ටම දෙයක් වන්නේ සියලුදෙනාම වචනාර්ථයෙන් එකමුතුව සිටීමය. නමුත් එය වෙනස් වූ විට විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මිනිසුන් අතර බෙදීම් ඇති වෙනවා.” රාජකීය විද්‍යාල ලන්ඩන් ප්‍රතිපත්ති ආයතනයේ සභාපති බොබී ඩෆී සඳහන් කළේය.

වසංගත තත්ත්වය පිළිබඳව පුද්ගලයන් දරන මත අධ්‍යයනය කරන සමීක්ෂණයක් මෙහෙයවන ලන්ඩන් විශ්වවිද්‍යාල කොලේජයේ වෛද්‍ය ඩේසි ෆැන්කෝට් සඳහන් කළේ, ලොක්ඩවුන් නීති සමඟ විවිධ වයස් කණ්ඩායම් කටයුතු කරන ආකාරය වෙනස් බව පැවසීමට සාක්ෂි තිබෙන බවය. “වයස්ගත වැඩිහිටි පුද්ගලයන්ට වඩා වයස අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයන් මෙම නීතිවලට කීකරු වෙනවා අඩුයි. වයස්ගත පුද්ගලයන්ගෙන් සියයට 50ක් ඒවාට කීකරු වෙන අතරේ තරුණ කණ්ඩායම්වලින් ඒවාට කීකරු වන්නේ තරුණයන් සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයක්ය.”
YouGov දත්ත පෙන්වා දෙන්නේ වැඩිම ආර්ථික බලපෑම සිද්ධ වී තිබෙන්නේ තරුණයන්ට බවය. මේ අතර වයස හේතු‍වෙන් වැඩිහිටි පුද්ගලයන් අසාධාරණයට ලක් වන බවද අසන්නට ලැබේ. “වයස අවුරුදු 50ට වැඩි පුද්ගයන්ව නිවසට හිර කිරීමට සැරසීම කනගාටුදායක කරුණක්” ඒජිං බෙටර් නම් ආයතනයේ කැත්රීන් ෆුට් සඳහන් කරයි. ඇතැම් මාධ්‍යවල සඳහන් වෙනවා වගේ තරුණයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් විවිධ වයස් කණ්ඩායම් අතර භේදයක් වර්ධනය වී නැති බව මෙම ලිපියේ කර්තෘ සඳහන් කරයි.

“බොහෝ විට ප්‍රධාන වශයෙන් රැකියාවල නිරත වන්නේ තරුණ පරපුරය. එමෙන්ම ඔවුන් ගෙවන්නේ සංකීරණ දිවි පෙවෙතක්ය. නමුත් බොහෝ වයස්ගත වැඩිහිටි පුද්ගලයන් විශ්‍රාම ගෙන තිබේ. දරුවන්ව බලාගැනීම හෝ රැකියාවක් කිරීම පිළිබඳව ඔවුන්ට කරදර වීමට අවශ්‍ය නැත. මෙවන් සරල ජීවිතයක් ගත කරන පුද්ගලයන්ට ලොක් ඩවුන් නීතියක් ක්‍රියාත්මක කළොත් ඔවුන් ඉන් එතරම් බාධාවට පත් වන්නේ නැත.”
17 හැවිරිදි එමිලි සහ ඇගේ මව එමා ලොක්ඩවුන් කාල සීමාවේදී ජීවත් වී තිබෙන්නේ චෙල්ටන්හැම්වල 79 හැවිරිදි ශීලාගේ නිවසේය. ඒ UK හෝම්ශෙයා නම් වැඩසටහන යටතේය. එම වැඩසටහනේදී සිදු වන්නේ තරුණ පුද්ගලයන් වයස්ගත පුද්ගලයන් සමඟ නොමිලයේ ඔවුන්ගේ නිවසේවල නතර වීමය. එම තරුණ පිරිස් නවාතැන් ගන්නා නිවසේ වත්ත පිටියේ වැඩද සිදු කරයි. මෙවැනි සැලැස්මක් යටතේ කණ්ඩායම් දෙකම සතුටක් ලබන බව සඳහන්ය.

“මට ඒකෙන් සතුටක් ලබන්න බැරි වෙයි කියලා මම භයෙන් හිටියේ. ඒත් එහෙම නැහැ. අපි කතාබහ කරනවා. කාලය ගත කරනවා. මගේ ඉස්කෝලේ අයටත් වඩා ලස්සන කතන්දර ශීලා දන්නවා” එමිලි පැවසීය. ශීලාද මොවුන් සමඟ කාලය ගත කිරීම අපහසු වේ යැයි මුලින් බියෙන් පසු වුවද දැන් එය එසේ නොවන බවත් ඇය විශාල සතුටක් ලබන බවත් පවසයි.
එමනිසා මෙවැනි වගකීම් විරහිත හැසිරීම් තරුණයන් තුළ දක්නට ලැබුණද තරුණයන් එසේ කරන්නේ වැඩිහිටියන්ට එරෙහි වීමක් ලෙස පැවසිය හැකිද කියා මෙම ලිපියේ කර්තෘ ආචි බ්ලෑන්ඩ් ප්‍රශ්න කරයි.
(UKහි “ද ගාඩියන්” ඇසුරිනි)
එස්. දහනායක