මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයට අදාළව පොලිසිය මගින් සොයමින් සිටි ප්‍රධාන සැකකරුවෙකු වන සම්පත් මනම්පේරි නමැත්තා, වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිව තිබේ. සැකකරු ඊයේ (17) පස්වරුවේ අධිකරණයට භාර වූ අතර, වලස්මුල්ල මහේස්ත්‍රාත් කෝකු හැන්නදිගේ නවෝදා මහත්මිය විසින් මෙම රැඳවුම් නියෝගය ලබා දෙන ලදී.
මෙම විමර්ශනයට පාදක වූ සුදු පැහැති රසායනික ද්‍රව්‍ය තොගය, බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගිය 05 වන දා මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයා ගන්නා ලදී. පොලිස් භාරයේ සිටින 'බැකෝ සමන්' නමැත්තෙකුගෙන් ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබූ අතර, 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තෙකු විසින් මෙම ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවට එහිදී අනාවරණය වී ඇත.
සිද්ධියෙන් පසු පොලිසිය මඟහරිමින් සිටි සම්පත් මනම්පේරි නමැති සැකකරු, නීතිඥයෙකු මාර්ගයෙන් පසුගිය 15 වන දා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. අධිකරණයට භාර වීමෙන් පසු සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන මෙන් ඔහු ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය විමර්ශන නිලධාරීන්ට ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස නියෝග කළේය. එම නියෝගය ලැබී දින දෙකකට පසුව සැකකරු අධිකරණයට භාර විය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණ භූමිය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ අතර, නීතිඥවරුන් කිහිප දෙනෙකුම ඔහු වෙනුවෙන් පෙනී සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය, සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ඉල්ලා සිටි අතර, අධිකරණය විසින් එම ඉල්ලීමට අවසර ලබා දෙන ලදී.
කලක් පොලිස් කොස්තාපල්වරයෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස ද සේවය කර ඇති සම්පත් මනම්පේරි සැකකරුගේ සහෝදරයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රී පියල් මනම්පේරි ද මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් බරැති කවර 22ක අසුරා, පසුගිය ජනවාරි 29 වන දා කොළඹ සිට කන්ටේනර් දෙකකින් ගෙනැවිත් තලාව ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ ගබඩා කර තිබූ බවට මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබුණි. පසුව එම ද්‍රව්‍ය තොගය අගෝස්තු 31 වන දා ගෙවත්තක වළ දමා ඇති බවට අදාළ කැණීම් යන්ත්‍ර ක්‍රියාකරු පොලිසියට පවසා තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval