do-not-insult-buddhism-due-to-the-diyawadana-nilame-competition-the-mahanayakes-of-malwatta-and-asgiri-divisions-inform

 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තේරී පත්වීමේ නිලවරණය ප්‍රකාශයට පත්ව ඇති පසුබිමක, ඇතැම් බාහිර පාර්ශ්ව තම අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන යන අපහාසාත්මක ප්‍රචාර හේතුවෙන් බෞද්ධ සමාජය ජාත්‍යන්තරව හෑල්ලුවට ලක්වෙමින් පවතින බවට මල්වතු සහ අස්ගිරි පාර්ශ්වවල මහනාහිමිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සිය සංවේගය පළ කරති.



අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සහ අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන යන මහනාහිමිවරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ, ඇතැම් සංවිධාන සහ පුද්ගලයන් දියවඩන නිලමේ තනතුර පිළිබඳව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි වෛරී සහගත ආකල්ප සමාජගත කරන බවයි.

මෙම ක්‍රියාවලිය හුදෙක් පුද්ගලික කාරණයක් ලෙස ලඝු කළ නොහැකි බවත්,

එය සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාවගේ ප්‍රතිරූපය විනාශ කරන බරපතළ ඛේදවාචකයක් බවට පත්ව ඇති බවත් මහනාහිමිවරු පෙන්වා දෙති. මෙවැනි ක්‍රියාකලාප හරහා සමාජ සමගියට හානි වන අනවශ්‍ය සංවාද නිර්මාණය වෙමින් පවතින බවද එම නිවේදනයේ සඳහන් වේ.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරීත්වය දරන දියවඩන නිලමේවරයා, චිරාගත සම්ප්‍රදායන් සුරක්ෂිත කරමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ ප්‍රබෝධය සඳහා කටයුතු කළ යුතු බව මහනාහිමිවරු අවධාරණය කරති. එම ඉහළ වගකීම දැරීමට තමන් සතු හැකියාව සහ සැලසුම් පැහැදිලි කිරීම දියවඩන නිලමේ ධුරයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුගේම යුතුකමක් බවද උන්වහන්සේලා තරයේ කියා සිටිති.

මෙරට ප්‍රථම බෞද්ධයා ලෙස සැලකෙන දියවඩන නිලමේ තනතුරට ජාත්‍යන්තර බෞද්ධ රටවලින්ද ඉහළ ගෞරවයක් හිමිවන බව නිවේදනයේ දැක්වේ.



එබැවින්, පටු පෞද්ගලික අරමුණු පෙරදැරිව සිදුකරන පදනම් විරහිත, වෛරී සහගත ප්‍රකාශ එකහෙළා හෙළා දකින බව පවසන මහනාහිමිවරු, ශ්‍රී දළදා මාලිගාවේත්, දියවඩන නිලමේ ඇතුළු අනෙකුත් නිලතලවලත් ගෞරවය සහ සම්භාවනීයත්වය ආරක්ෂා කිරීමට සියලු අපේක්ෂකයන් අධිෂ්ඨාන කරගත යුතු බවට වැඩිදුරටත් අවධාරණය කරති.