
ශ්‍රී ලංකා පොලිසියේ නිල ආරාධනයක් මත දේශනයක් පැවැත්වීමට මෙරටට පැමිණි අමෙරිකානු පොලිස් නිලධාරියෙකු, ජීව උණ්ඩ 17ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, සුවිශේෂී කරුණු සලකා බලමින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
නවාතැන් ගෙන සිටි කොළඹ හෝටලයේ වැසිකිළි බඳුනකට උණ්ඩ 17ක් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මයිකල් ඇන්ඩෲ මෙනන් නමැති මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබිණි. ඊයේ (17) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා හමුවට ඉදිරිපත් කළ සැකකරු,
රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරිණි. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණ භාරයට ගත් අතර, රටින් පිටවීම තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරු වරද පිළිගැනීම, පොලිසියේ නිල ආරාධනය මත මෙරටට පැමිණීම, ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ද්විපාර්ශ්වික ගිවිසුම් යන කරුණු සලකා මෙම ඇප නියෝගය ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
කාන්තා හා ළමා ආරක්ෂණය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට නියෝජ්‍ය පොලිස්පතිනියකගේ ආරාධනයෙන් සැකකරු මෙරටට පැමිණ ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. 9/11 ප්‍රහාරයෙන් පසු පිහිටවූ අමෙරිකානු ෆෙඩරල් ඒජන්සියක නියෝජිතයෙකු වන ඔහුට, සිය රට තුළ ගිනි අවි සහ උණ්ඩ භාවිතයට අවසර ඇති බවද පොලිසිය පැවසීය. මෙම උණ්ඩ සිය ගමන් මල්ලේ තිබූ බව ඔහු නොදැන සිට ඇති අතර,
අමෙරිකාව, දෝහා සහ කටුනායක යන ගුවන්තොටුපළ තුනේම ආරක්ෂක පද්ධතිවලටද ඒවා හසු වී නොමැත.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේ, නොදැනුවත්කමින් රැගෙන ආ උණ්ඩ තොගය දුටු පසු ඇති වූ බිය නිසා සැකකරු ඒවා බැහැර කර ඇති බවයි. ඔහු සිය වරද පිළිගන්නා බවත්, මෙම සිද්ධියෙන් වරදකරුවෙකු වුවහොත් රැකියාව අහිමිවීමේ අවදානමක් පවතින බැවින් අවවාද කර මුදා හරින ලෙසත් නීතිඥවරු ඉල්ලා සිටියහ.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, දඬුවම් නියම කිරීම සඳහා නඩුව ලබන 30 වන දා නැවත කැඳවන ලෙස නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval