elephants-save-telephones

 සමගි ජන බලවේගය පිහිටුවීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය සාමාජිකයන්ට පනවා තිබූ සියලුම පක්ෂ තහනම් සහ විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.



හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (16) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළැඹ තිබේ.



මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි නීතිමය පසුබිම අධ්‍යයනය කිරීම සඳහා හිටපු නීතිපති, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතීත්වයෙන් යුත් විශේෂ කමිටුවක්ද මෙහිදී පත් කර ඇත. මෙම පියවරත් සමඟ සමගි ජන බලවේගයට එක්වූවන්ට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට පැවති බාධා ඉවත්වන බව එජාප සභාපති, වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

මීට අමතරව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයක් ලෙස කටයුතු කිරීමට එක්වූ සියලු පාර්ශ්වයන් වෙත සිය ස්තූතිය පිරිනැමීමේ යෝජනාවක් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කරගෙන තිබේ.

ලබන 20 වනදා එජාප සම්මේලනයට සජබ පිරිස් පැමිණෙනු ඇතැයි එම පක්ෂය අපේක්ෂාවෙන් පසුවේ.