ඇල්ල, රාවණා ඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් 16 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් වැදගත් අධිකරණ නියෝගයක් නිකුත් වී තිබේ. අනතුරට පෙර බස් රථය ගැටුණු සුඛෝභෝගී ජීප් රථයේ ඩෑෂ් කැමරා දර්ශන වහාම විමර්ශන සඳහා භාර දෙන ලෙස ඇල්ල පොලිසිය විසින් ලබාගත් නියෝගයක් මගින් එහි රියදුරුට සහ අදාළ සමාගමට දැනුම් දී ඇත.
පසුගිය 04 වන දා රාත්‍රියේ තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් රැගෙන යමින් තිබූ මෙම බස් රථය, ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන කණුව ආසන්නයේදී මීටර් 350ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබූ අතර, බස් රථයේ රියදුරු සහ නගර සභා ලේකම්වරයාද ඇතුළුව 16 දෙනෙකු ඉන් මිය ගියහ.
බස් රථය ප්‍රපාතයට පෙරළීමට මොහොතකට පෙර රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක ගැටී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. මෙම දර්ශන විමර්ශන සඳහා ප්‍රබල සාක්ෂියක් වුවද, ඒවා ලබාගැනීමට තාක්ෂණික අපහසුතා ඇති බවත්, එය අදාළ නියෝජිතායතනය හරහා සිදු කළ යුතු බවත් ජීප් රථයේ රියදුරු සහ හිමිකරු පොලිසියට මීට පෙර දැනුම් දී තිබිණි. එම දර්ශන ලබා දීම ප්‍රමාද වීම හේතුවෙන් පොලිසිය මෙලෙස අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන ඇත.
මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනතුර සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ පරීක්ෂක කණ්ඩායම සිය මූලික විමර්ශන වාර්තාව සකස් කරමින් පවතී. ඔවුන්ගේ නිගමනයට අනුව, බස් රථය පල්ලම් බැසීමේදී වැඩි 04 ගියරය භාවිත කරමින් අනාරක්ෂිතව ගමන් කර ඇති අතර තිරිංග මත පමණට වඩා යැපීමත්, ඒ හේතුවෙන් අධික ලෙස රත් වූ පිටුපස දකුණු පස තිරිංග පද්ධතිය අක්‍රිය වීමත් අනතුරට ආසන්නතම හේතුව වී ඇත. අදාළ වාර්තාව ලබන සතියේදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වෙත භාර දීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval