rohitha-ordered-to-pay-fine-in-connection-with-20-million-rupees-financial-fraud

 හම්බන්තොට, මාගම්පුර වරායේ කළුගල් ඉවත් කිරීමේ ටෙන්ඩරයක් ලබාදෙන බව පවසා සිදුකරන ලදැයි කියන රුපියල් මිලියන 20ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. අදාළ ප්‍රකාශය සති දෙකක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.





මෙම නඩුවට පාදක වී ඇත්තේ, හුංගම, බටඅත දකුණ ප්‍රදේශයේ පදිංකරුවෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලකි. 2021 වර්ෂයේ ජනවාරි 5 වන දින හෝ ආසන්න දිනයකදී, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් තමන්ව වරායට ගෙන ගොස්, කළුගල් තොගය පෙන්වා අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් මිලියන 20ක් ලබාගත් බව පැමිණිලිකරු සඳහන් කර ඇත.

පසුව පැවති රජය වෙනස් වීම නිසා පොරොන්දු වූ ටෙන්ඩරය ලබා දීමට නොහැකි වූ බවත්, ලබාගත් අත්තිකාරම් මුදල ආපසු ගෙවීම සඳහා ලබාදුන් චෙක්පත අගරුවූ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ. ගිණුමේ මුදල් නොමැති වීම හේතුවෙන් එම චෙක්පත බැංකුව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය,

හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි තලංගම, හෝකන්දර ප්‍රදේශයේ පදිංදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැර තිබිණි.

කෙසේ වෙතත්, නඩුව වසර ගණනාවක් විභාග වුවද, මුල් පැමිණිල්ලේ නම සඳහන් අනෙකුත් පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන නොමැති බව අධිකරණයේදී අනාවරණය විය. ඒ අනුව, පැමිණිල්ලේ නම සඳහන්ව ඇති හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගන්නා ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කළේය.