ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කෙරුණු, මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන 'BIRDS-X DRAGONFLY' හෙට (19) කක්ෂගත කිරීමට නියමිතය. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එය කක්ෂයට මුදා හැරෙන බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසයි.
පසුගිය අගෝස්තු 24 වන දා නාසා ආයතනය මගින් දියත් කළ SPX33 රොකට් මෙහෙයුම ඔස්සේ මෙම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී. 2019 වසරේදී 'රාවණ-1' සහ 2022 වසරේදී 'KITSUNE' චන්ද්‍රිකා කක්ෂගත කිරීමෙන් අනතුරුව, මෙම නව චන්ද්‍රිකාව මෙරට අභ්‍යවකාශ තාක්ෂණයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ආතර් සී. ක්ලාක් ආයතනය පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතියේ ඇති තවත් සුවිශේෂීතාවක් වන්නේ ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රාග්ධන පිරිවැයක් දැරීමට සිදු නොවීමයි. එය ශ්‍රී ලංකාවේ ආතර් සී. ක්ලාක් ආයතනය සහ ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය අතර ක්‍රියාත්මක වූ තාක්ෂණික සහයෝගිතා වැඩසටහනකි. ජපානයේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (JAXA) සහ ඩිජිටල් රේඩියෝ සන්නිවේදන ආයතනය (ARDC) ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සහයෝගය ද ඊට හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය මෙරටට දායාද කරනු ලැබුවේ ආතර් සී. ක්ලාක් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ වැඩසටහනේ නිර්මාතෘවරයා වන ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්නගේ මහතා විසිනි. විදේශීය පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතා ලබා ගනිමින් මෙම සහයෝගිතා ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ ඒ මහතාගේ මූලිකත්වයෙනි.
මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළ ශ්‍රී ලාංකික පර්යේෂණ ඉංජිනේරු කණ්ඩායම ආචාර්ය සනත් පනාවැන්නගේ මහතා විසින් මෙහෙයවන ලද අතර, ඉංජිනේරු කමනි එදිරිවීර, ඉංජිනේරු කවින්ද්‍ර ජයවර්ධන, පර්යේෂණ ඉංජිනේරුවන් වන තරිඳු දයාරත්න, කවීන්ද්‍ර සම්පත්, උදිත ගයාන් සහ පර්යේෂණ විද්‍යාඥ තිළිණ විජේබණ්ඩාර යන මහත්ම මහත්මීහු ඊට ඇතුළත් වූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval