
අධික වේගයෙන් රිය පදවා එක්දරු පියෙකුගේ මරණයට හේතු වූ බවට චෝදනා ලැබූ 19 හැවිරිදි තරුණයෙකු, මියගිය පුද්ගලයාගේ පවුල වෙත රුපියල් ලක්ෂ 35ක වන්දියක් ගෙවීමට එකඟ වීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය සැප්තැම්බර් 11 වන දා රත්නපුර ජෝති සිනමා ශාලාව ඉදිරිපිටදී මෙම මාරක රිය අනතුර සිදුවී ඇති අතර, ඉන් රත්නපුර, මුද්දුව, හකමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි සමන්ත සුනිල් නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්විය. ඔහු දෙහැවිරිදි දරුවෙකුගේ පියෙකි.
මෙම නඩුව පසුගිය 15 වන දා රත්නපුර මහේස්ත්‍රාත් සමන් ඩී. පරණගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මියගිය අයගේ බිරිඳට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවයි.
පොරොන්දු වූ සානුකම්පිත දීමනාව ලබා දෙන්නේ නම් සැකකරුට ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
සැකකාර රිෂාන් යුසුප් මොහොමඩ් නමැති තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්, සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින්, මියගිය අයගේ අවසන් කටයුතු සඳහා මීට පෙර රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දුන් බව අධිකරණයට දැනුම් දුන්නේය. ඊට අමතරව රුපියල් ලක්ෂ 35ක සානුකම්පිත දීමනාවක් ගෙවීමට සහ සැකකරුගේ රියදුරු බලපත්‍රය අධිකරණයට භාර දීමට එකඟ වෙමින් ඔහුට සුදුසු ඇපයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සහ පොලිස් වාර්තා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළේය. රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් නියම කෙරුණු අතර, සෑම මසකම ඉරිදා දිනක රත්නපුර පොලිසියට වාර්තා කරන ලෙසද ඔහුට නියම විය. මීට අමතරව, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද සැකකරුට වැඩිදුරටත් නියෝග කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval