About-600-stone-poles-burst-in-at-once-Evidence-from-Amarakeerthi-murder-shop

“මම නිට්ටඹුව නිහාල් ෆැෂන් ආයතනයේ ආරක්ෂක අංශයේ සේවයේ යෙදී සිටිනවා. එදා 9 වැනිදා සවස 4.30ට පමණ ආයතනයේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින විට පන්සියයක හයසියයක පමණ පිරිසක් ගල් පොලු අතින් අරගෙන ආයතනයට ඇතුළු වුණා.” යැයි නිට්ටඹුව කන්තොට පදිංචි ගාමිණී දයානන්ද (63) මහතා ඉකුත් 20 වැනිදා පස්වරුවේ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කියා සිටියේය.

ගෝඨාගේ ගමට හා මයිනා ගෝ ගමට පසුගිය 9 වැනිදා මැර කණ්ඩායමක් පහරදීමේ සිද්ධියෙන් පසුව එදිනම නිට්ටඹුව නගරයේ ඇති වූ මහජන නොසන්සුන්තාව අතරතුරදී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයකු වන අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා  ඝාතනය කිරිම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පොලිස් නිලධාරියකුගේ මෙහෙය වීම යටත්තේ සාක්කි දෙමින් දයානන්ද මහතා එසේ කියා සිටියේය.

සාක්කිකරු මෙසේ ද කීය.

“ආරක්ෂක අංශයට අදාළ මගේ රැකියාව නිහාල් ෆැෂන් ආයතනයට භාණ්ඩ ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගික  ජනතාවගේ සන්තකයේ තිබෙන බෑග් ඇතුළු භාණ්ඩ ආරක්ෂා කිරීමයි.  එදා 9 වැනිදාත් මම සුපුරුදු පරිදි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියා. සවස 4.30ට පමණ එක පාරටම පන්සියයක හයසියයක පමණ පිරිසක් ආයතනයට ඇතුළු වී පඩිපෙළින් උඩට ගියා. ඔවුන් අත ගල් පොලු තිබුණා. උඩට ගිය පිරිස වැඩේ හරි වැඩේ හරි කියලා පහළට බැස්සා. ඒ වන විට ආයතනය ඉදිරිපිට එක්දහස් පන්සියයක දෙදහසක පමණ පිරිසක් හිටියා. පසුව ආයතනය ඉදිරිපිට දෙනෙක් මරල දාලා ඉන්නවා දැක්කා. ඒ මරලා දාලා හිටපු දෙදෙනාගේම තිබුණේ යට ඇඳුම් පමණයි." නැවත රහස් පොලිස් නිලධාරිවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ ද කීය.

සිද්ධිය සිදු වී ඇත්තේ ආයතනයේ උඩු මහලේයි.

" රහස් පොලිස් නිලධාරියා - කොයි මහලේද සිද්ධිය වුණේ?

 සාක්කිකරු - සිද්ධිය වුණේ දෙවැනි මහලේයි.

රහස් පොලිස් නිලධාරියා - දෙවැනි තට්ටුවේ ද තුන්වැනි තට්ටුවේ ද සිද්ධිය   වුණේ?

සාක්කිකරු - හරියටම සිද්ධිය වුණේ දෙවැනි තට්ටුවේ ද තුන්වැනි තට්ටුවේ ද කියලා කියන්න බැහැ. මම හිටියේ පහළ නිසා.

රහස් පොලිස් නිලධාරියා - තව මොනවා ද දැක්කේ ?

සාක්කිකරු - ලේ පැල්ලම් දැක්කා..

රහස් පොලිස් නිලධාරියා - මිය ගොස් ඇති අයව ඇදගෙන එනවා දැක්කා ද? සාක්කිකරු - නෑ. ඇදගෙන එනවා දැක්කේ නෑ. වැඩිදුරටත් සාක්කි දෙමින් සාක්කිකරු මෙසේ කියා සිටියේය.



“ඔය සිද්ධිය ආරම්භ වීමත් සමග මැනේන්ජර් මහත්තයා පොලීසියට කෝල් කරලා කිව්වා.

එදා රෑ මට මතක තියෙන විදිහට රෑ දොළහට විතර පොලීසියෙන් ඇවිත් මළ සිරුරු දෙක රැගෙන ගියා." යැයි ද සාක්කිකරු කියා  සිටියේය.

සාක්කිය ලබා ගැනීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරියා මේ පිළිබඳව සාක්කි ලබා ගැනීම අවසන් කරන බව කියා සිටියේය.

මේ අවස්ථාවේ එදිනම වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇති හරි නදීෂාන් ජයවීර නමැති ව්‍යාපාරිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් කුමාරපේලි මහතා කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය.

“ඔය මිය ගොස් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ජීප් රථයේ මන්ත්‍රීවරයාත්, ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයාත්, රියැදුරා හා තවත් දෙදෙනෙකුත් පැමිණ තිබෙනවා. පළමුවෙන්ම එම ජීප් රථයෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට  තිබෙනවා. එම වෙඩි ප්‍රහාරවලින් තිදෙනකුට තුවාල සිදු වී වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හර්ෂ  නදීෂාන් ජයවීර නමැති ව්‍යාපාරිකයා මිය ගොස් තිබෙනවා.එම සිද්ධියෙන් පසුව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්වරයාත් ඝාතනය වී ඇත්තේ. මේ තත්වය යටතේ හර්ෂ නදීෂාන් ජයවීර නමැත්තාගේ ඝාතනයට මන්ත්‍රීවරයාගේ ජීප් රථයේ සිටි අනෙක් තිදෙනා සැකකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වෙනවා.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නෑ." යැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කීය.

මෙහිදී අධිකරණය කරන ලද ප්‍රශ්න කිරීමේදී කරගෙන යන පරික්ෂණ කටයුතු විවෘත අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ  නොහැකි බව රහස් පොලිස් නිලධාරියා කියා සිටියේය.  දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මිය ගොස් ඇති තිදෙනාටම අසාධාරණයක් නොවන පරිදි ඉදිරි පරික්ෂණ කටයුතු කරගෙන යන ලෙසට මහේස්ත්‍රාත්වරිය රහස් පොලිස් නිලධාරිවරයාට නියෝග කළාය.  නැවත කැඳවීම මෙම 30 වැනිදාට කල් තැබිණ.  මිය ගොස් ඇති හරි නදීෂාන් ජයවීර නමැති ව්‍යාපාරිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් කුමාරපේලි මහතා පෙනී සිටියේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සමූහ අපරාධ විමර්ශන අංශයේ රහස් පොලිස් නිලධාරියෙක් සාක්කි මෙහෙය වීය.

( වාර්තාව - ආනන්ද ඉ. ජයකොඩි )

සිද්ධියට අදාළ පෙර වාර්තා