amarakeerthi-athukorala-killed
පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඔහුගේ රියදුරු හා තවත් තරුණයෙකු මියගිය නිට්ටඹුවේ සිදුවීම සම්බන්ධ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් අමරකීර්ති මහතාගේ භාර්යාව වන මාලනී අතුකෝරළ මහත්මිය කියා සිටියේ සිදුවීමට ආසන්න අවස්ථාවේත් තමා දුරකථන ඇමතුම් ගත් බවයි.

පළමු ඇමතුම දුන් විට මහත්තයා උත්තර දුන්නේ නැති බවත් දෙවැනි ඇමතුම රියදුරුට දුන් විට ඔහු වැසිකිළියක සැගවී සිටින බව කියා සිටි බවත් ටිකකට පසු දෙන්නාම මරාදමා ඇතැයි දැනගත් බවත්ය.

නිට්ටඹුව නගරයේදී ඝාතනය කෙරුණ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමර කීර්ති අතුකෝරළ, ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් වරයකු වන අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන හා කල්එළිය හාපිටිගම පදිංචිව සිටි ඉහළ ගමගේ හරි නදීෂාන් ජයවීර යන මහත්වරුන්ගේ මූලික මහේස්ත්‍රාත් පරික්ෂණයේ සාක්ෂි අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පෙරේදා 17 වැනිදා  පස්වරුවේ ලබා ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මිය ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භාර්යාව වූ මාලනී අතුකෝරළ (52) නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.ඩබ්ලිව්.ඇල්. රවීන්ද්‍ර  මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන්නාය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය කරුණු දක්වමින් මෙම ඝාතන සම්බන්ධව පරික්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබියදී නිට්ටඹුව පොලීසිය තවදුරටත් මැදිහත් වී සාක්කි මෙහෙය වන්නේ කුමන හේතුවක් මත දැයි  ප්‍රශ්න කළාය.  මේ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියකු අධිකරණය ඉදිරියට පැමිණ උදෘත ලබා ගැනීමේ ගැටලුවක් හේතුවෙන් අද දින පමණක් සාක්ෂි මෙහෙය වීම නිට්ටඹුව පොලීසිය විසින් සිදු කරනු ලබන බව  කියා සිටියේය.

ඉදිරි සියලු කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවද එම පොලිස් නිලධාරියා කීය. මෙහිදී මහේස්ත්‍රාත්වරිය නිට්ටඹුව පොලීසියේ අකාර්යක්ෂමතාව පිළිබඳව නිසි පියවර ගන්නා බවට ප්‍රකාශ කර නිට්ටඹුව පොලීසියට සාක්කි මෙහෙයවීමට අවසර ලබා දුන්නාය.  අනතුරුව නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.ඩබලිව්. ඇල්. රවීන්ද්‍ර මහතාගේ මෙහෙයවීම යටතේ මාලනී අතුකෝරළ මහත්මිය තවදුරටත් සාක්කි දෙමින් මෙසේ කියා සිටියාය.

අපට එක පුතෙක් ඉන්නවා. මහත්තයා සමග විවාහ වුණේ දෙදහ වසරේයි. මහත්තයා 2019 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් වුණා. ඔහු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළා. අගමැතිතුමාගේ දැනුම් දීමකට අනුව මහත්තයා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් වරයාත් තවත් මූස්ලිම් දෙදෙනෙකුත් සමග ඔහුගේ නිල රථයෙන් එදා 9 වැනිදා පාන්දර 5.30ට පමණ කොළඹ ගියා. නිල රථය පදවා ගෙන ගියේ මහත්තයාගේ රියැදුරායි. එදා හවස 3.30 ට විතර මහත්තයගෙ අක්ක කතා කරල ඇහැව්වා මල්ලි කෝ කොළඹ ගියාද කියලා. මම කිව්වා ඔව් කොළඹ ගියා කියලා. ඒ අවස්ථාවේ මල්ලිට කතා කරල බලන්න කියල අක්ක කිව්වා. ඒ අනුව මම මහත්තයගෙ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තත් මහත්තයා කතා කළේ නෑ. ඊට පස්සේ මහත්තයාගේ රියැදුරු  මහත්තයාට කතා කළාම ඔහු කීවා නිට්ටඹුවේ ටොයිලට් එකක හැංගිලා ඉන්නවා කියලා. මහන්තයා පාරෙන් එහා පැත්තට දිව්වා. මම අනිත් පැත්තට ඇවිත් හැංගිලා ඉන්නවා කියල රියදුරු මහත්තයා ඒ අවස්ථාවේ කිව්වා.

පෞද්ගලික ලේකම්තුමා මගින් නිට්ටඹුව පොලීසියට කතා  කරන්න කියලත් කිව්වා.  ඊට පසුව මහත්තයා පෞද්ගලික සාප්පු ආයතනයක උඩ ඉන්නවා කියලා දැන ගන්න ලැබුණා. පසුව මහත්තයාත් ආරක්ෂක පොලිස් සැරයන්වරයාත් දෙන්නම මියගොස් ඇති බව දැන ගන්න ලැබුණා. මුලින් දැන ගත්තේ වෙඩි තියා ගෙන කියලයි. ඒත් පසුව දා වතුපිටිවල මූලික රෝහලේ දී දැන ගත්තා පහර දීලා මහත්තයා මිය ගිහින් කියලා යැයිද ඇය කියා සිටියාය. මිය ගොස් ඇති පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන මහතාගේ භාර්යාව වන පන්නිපිටිය, ඇරැව්වල පදිංචි අනුෂා උදේනි විජේසුන්දර මහත්මිය ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාගේ මෙහෙය වීම යටතේ සාක්කි දෙමින් මෙසේ කියා සිටියාය.

මියගොස් ඇත්තේ මගේ සැමියායි. ඔහු ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු වශයෙන් සේවය කළා. දැනට වසර දෙකක පමණ කාලයක සිට මන්ත්‍රීතුමාගේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියා. එදා 08 වැනිදා රාත්‍රී මහත්තය මට දුරකතනයෙන් කතා කරල අගමැතිතුමාගේ වැඩසටහනකට 09  වැනිදා උදේ මන්ත්‍රීතුමාත් සමග කොළඹ යනවා කිව්වා. එදා 09 වැනිදා උදේත් මහත්තයා කතා කළා. හවස 02 ට විතරත් කතා කළා. ඒත් ඊට පස්සේ කතා කළේ නෑ. රූපවාහිනිය මගින් රටේ හට ගෙන ඇති කරදර ගැන දැන ගැනීමෙන් පසුව මහත්තයාගේ අයියා මගින් සොයා බැලුවා. ඒත් පිළිතුරක් ලැබුණේ නැහැ, එදා රෑ 08 ට විතර ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු දුරකතනයෙන් කතා කර මගේ නම ඇතුළු තොරතුරු ගත්තා. ඊට පසුව නිට්ටඹුව පොලීසියෙන් කතා කරල පසුවදා නිට්ටඹුව පොලීසියට එන්න කිව්වා. ඒ අනුව නිට්ටඹුවට ආවට පස්සෙ තමයි මහත්තයා මිය ගිහින් කියල දැන ගත්තේ යැයිද ඇය කීවාය.

කල්එළිය, හාපිටිගම පදිංචිව සිටි ඉහළ ගමගේ හර්ෂ නදීෂාන් ජයවීර මහතාගේ භාර්යාව වන ජේ.ඒ. පියුමාලි හංශිකා  මහත්මිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙය වීම යටතේ සාක්කි දෙමින් මෙසේ කියා සිටියාය. මිය ගොස් ඇත්තේ මගේ සැමියා යි. අපි විවාහ වුණේ 2018 වසරේයි. මහත්තයා ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කළා. මට මහත්තයා එදා 09 වැනිදා උදේ 10.30ට 10.45 ට පමණ හදන්න දාල තිබුණු යතුරුපැදියක් බලන්න වේයන්ගොඩ යනව කියල වාහනයෙන් ගියා. එදා හවස 2.15 ට විතර මහත්තය දුරකතනයෙන් කතා කරල කෑමට එනව කියල කිව්වා. පසුව කෑමට ආපු නැති නිසා කෝල් කිහිපයක් ගත්තා. ඒත් මහත්තයා කතා කළේ නෑ. මම ඊට පස්සේ මහත්තයගෙ යාළුවෙක් වන ඉෂාන්ට කතා කෙරුවා. ඔහු මහත්තයාත් සමග ගියේ නැහැ කිව්වා. පසුව දැනගන්නට ලැබුණා මහත්තයට තුවාල වෙලා කියල. පසුව මහත්තයාගේ අක්කත් සමග වතුපිටිවල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගියා.  එහි කාර්ය මණ්ඩලයේ මහත්තයෙක් කිව්වා බෙල්ලට වෙඩි වැදිල මහත්තය මිය ගිහින් කියලා.

මූලික සාක්කි ලබා ගැනීමෙන් අනතුරුව පොලීසිය ඉදිරිපත් කළ ඩී.වී.ආර්. යන්ත්‍රයක් ඇතුළු නඩු භාණ්ඩ දොළහක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියෝග කැරිණි. වැඩිදුර විමසීම හෙට 20 වැනිදාට කල් තැබිණ, මිය ගොස් ඇති හර්ෂ නදීෂාන් ජයවීර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ මනෝරත්න මහතා පෙනී සිටියේය. නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.ඇල්. රවීන්ද්‍ර මහතා සාක්කි මෙහෙය වීය.


(ආනන්ද ඉ. ජයකොඩි - ලංකාදීප වාර්තාව ඇසුරිනි)
සිද්ධියට අදාළ පෙර වාර්තා