කාවන්තිස්ස ඇතාගේ මරණය වෙඩි තැබීමක් හේතුවෙන් සිදුවූවක් බවට මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඊට හේතු වී ඇත්තේ සිරුර අභ්‍යන්තරයේ හටගත් බරපතළ සංකූලතා පෙළක් බව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතුරු මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වී තිබේ. මහාචාර්ය ආර්.
ආර්. එම්. කේ. කේ. විජේසුන්දර මහත්මිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද එම වාර්තාව පැහැදිලි කරන්නේ, මහාන්ත්‍රයේ ගැටගැසීම, ඒ ආශ්‍රිතව ඇතිවූ සෙප්ටික් කම්පනය සහ ඉන් අනතුරුව හටගත් බහු අවයව සංකූලතා ඇතාගේ මරණයට හේතු වී ඇති බවයි.ආහාර ජීරණ පද්ධතියේ මහාන්ත්‍රය ගැටගැසීමත් සමඟ ඇතාගේ ආහාර අවශෝෂණය සහ බහිස්ස්රාවීය ක්‍රියාවලිය මුළුමනින්ම අඩාල වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස හටගත් සෙප්ටික් කම්පනය හේතුවෙන් රුධිර පීඩනය ඉහළ ගොස් ඔක්සිජන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, මොළය ඇතුළු බහු අවයවවලට එල්ල වූ දැඩි බලපෑම මරණය දක්වා දුරදිග ගොස් ඇති බව එම කරුණුවලින් පැහැදිලි වේ.
ඇතාට වෙඩි වැදී ඇති බවට පැතිර ගිය අදහස් සම්බන්ධයෙන්ද අතුරු මරණ පරීක්ෂණ වාර්තාව වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කරයි. ඒ අනුව ඇතාගේ දකුණු උදරයේ සහ උරහිස් බිත්තියේ මූනිස්සම් තුනක් තිබී හමුවී ඇතත්, ඒවා මස් වැදලිවලින් වැසී තිබී ඇති අතර එමඟින් කිසිදු අභ්‍යන්තර අවයවයකට හෝ අස්ථියකට හානියක් සිදුවී නොමැත. ප්‍රතිකාර කරන අවස්ථාවේ දකුණු පාදයෙන් සැරව ගලා යාම දුටු බොහෝ දෙනා වෙඩි වැදීම එම ස්ථානයේ සිදුවූ බවට විශ්වාස කළද, පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එහි තිබී ඇත්තේ අභ්‍යන්තර නිදන්ගත තුවාල තුනක් පමණක් බවත් එම ස්ථානයෙන් කිසිදු මූනිස්සමක් හමු නොවූ බවත්ය.
කෙසේ වෙතත් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටිති. ඇතාගේ සිරුරේ තිබී හමුවූ මූනිස්සම් තුනට ඔවුන් සම්බන්ධ විය හැකි නමුත් මෙම සිදුවීම සංවිධානාත්මක ඝාතනයක් ලෙස හුවා දක්වමින් ඇතැමුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කර තිබූ බවට විවේචන තවම තහවුරූවී නැත.
මේ අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී කිසියම් සංකූලතාවක් සිදුවීද යන්න ඉදිරියේදී ලැබීමට නියමිත රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළිවනු ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බවත් වාර්තා වෙයි.