ඇප මත නිදහස් වී රුසියාවට පලා ගිය බවට වාර්තා වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකකෙරෙන සේපාල රත්නායක අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල’ අද (20) පෙරවරුවේ යළි මෙරටට රැගෙන එනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රුසියාවේ සිට රැගෙන ආ 44 හැවිරිදි මෙම සැකකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතළ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි රොටුඹ අමිල 2025 වසරේ මාර්තු මාසයේදී රුසියාවේදී අත්අඩංගුවට ගෙන තිබිණි. මෙරට අධිකරණ කිහිපයක් මගින් නිකුත් කර තිබූ වරෙන්තු මත ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබූ බව වාර්තා වේ.
මෙලෙස විදේශීය රටකදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර 2019 වසරේ මාර්තු 28 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාතාල නායකයෙකු වන මාකඳුරේ මධුෂ් විසින් පවත්වන ලද උපන්දින සාදයක් අතරතුරදී ද ඔහු අත්අඩංගුවට පත් විය. අනතුරුව මෙරටට පිටුවහල් කෙරුණු සැකකරු 2023 වසරේ මැයි 03 වැනිදා ඇප මත නිදහස් වී ඇති අතර, ඉන් පසුව ඔහු රුසියාවට පලා ගොස් ඇති බව වාර්තා වේ.
මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රොටුඹ අමිල විශේෂයෙන්ම දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන කිහිපයකට, කප්පම් ගැනීම්වලට සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට සැක කෙරේ. ඔහු පාතාල සාමාජිකයින් වන අංගොඩ ලොක්කා සහ මාකඳුරේ මධුෂ් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට ද වාර්තා පෙන්වා දෙයි.
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ 2024 වසරේ ජූලි 08 වැනිදා ඝාතනය කිරීමේ සිද්ධියට ද සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඊට අමතරව 2016 වසරේ අප්‍රේල් 29 වැනිදා මුල්ලේරියාව ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට ද ඔහු සම්බන්ධ බවට සැක කෙරේ.
කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.