one-hour-power-cut-at-700-pm-800-pm-and-900-pm-power-cut-time-table

පසුගිය සති අන්තයේ මුළු දිවයිනම අඳුරේ ගිල්වූ හදිසි විදුලි බිඳවැටීමේ ඍජු ප්‍රතිඵලයක් ලෙස, අද (19) සිට ඉදිරි දින තුනක් පුරා දිවයිනට පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පස්වරු 4:30 සිට රාත්‍රී 9:00 දක්වා වූ කාල පරාසය තුළ සමස්ත දිවයිනම ප්‍රධාන කලාප හතරකට වෙන් කර මෙම පැයක විදුලි විසන්ධිය ක්‍රියාත්මක කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම නිවේදනය කරයි.




ජාතික විදුලිබල පද්ධතියේ ජනන ධාරිතාව මෙගාවොට් 2500 ක සීමාවේ පවත්වා ගැනීමේදී මතුව ඇති මෙම ගැටලුව හමුවේ, මුලින් පැය දෙකක විදුලි කප්පාදුවක් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබිණි. එහෙත් පාරිභෝගික ජනතාවට සහ ඔවුන්ගේ දෛනික කටයුතුවලට සිදුවන අපහසුතාව අවම කිරීමේ අරමුණින් එය පැයක කාලයකට සීමා කර ඇත. මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි ජනනය උපරිම අගයක පවත්වා ගැනීමට හැකි වීමත්, පද්ධතියේ ඉල්ලුම සාපේක්ෂව අඩු මට්ටමක පැවතීමත් මෙම තීරණයට දැඩි සහනයක් වී තිබේ. කෙසේ වෙතත්, පද්ධති මෙහෙයුම් කටයුතුවල ස්වභාවය අනුව විදුලිය විසන්ධි කරන සහ යළි ලබාදෙන නිශ්චිත වේලාවන් මිනිත්තු 30 ක පමණ කාලයකින් වෙනස් වීමට ඉඩකඩ පවතින බවට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම මහජනතාවට පූර්ව දැනුම්දීමක් ද සිදුකර ඇත.

අද දිනට අමතරව 20 සහ 21 යන දිනවලද සවස 4:30 සිට රාත්‍රී 9:00 දක්වා කාලය තුළ කලාප හතරකට වෙන් කර මෙම පැයක විදුලි කප්පාදුව සිදු කරන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා තහවුරු කළේය. මේ සඳහා බලශක්ති අමාත්‍යාංශයෙන් සහ මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බවද ඔහු සඳහන් කළේය.




දින කිහිපයක් යනතුරු නොරොච්චෝලේ බලාගාරය පද්ධතියට එක් නොකෙරෙන අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන අංශය මේ වන විට අක්‍රීය වූ එක් ප්‍රධාන ජනන යන්ත්‍රයක් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවල නිරතව සිටී. ලබන බ්‍රහස්පතින්දා (22) වන විට එම යන්ත්‍රය යළි ජාතික පද්ධතියට එක් කිරීමට බලාගාරය විසින් දැනුම් දී ඇති අතර, ඊට පෙර අලුත්වැඩියා කටයුතු අවසන් කරගතහොත් නියමිත දින තුනට පෙර වුවද විදුලි කප්පාදුව අවසන් කර ජාතික පද්ධතිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම අපේක්ෂා කරයි.

මෙම තීරණයට පසුබිම් වන්නේ ඉකුත් සෙනසුරාදා (17) පෙරවරු 11:43 ට පමණ ජාතික විදුලිබල පද්ධතියෙන් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසියේම ඉවත් වීමත් සමග ඇතිවූ අසමතුලිතතාවයි. තත්පර තිහකටත් අඩු ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනටම බලපාන පරිදි සිදුවූ එම දැවැන්ත බිඳවැටීමෙන් පසු, සාමාන්‍ය ආරක්ෂිත පියවරක් ලෙස නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීය කෙරිණි. මේ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වී ඇති මෙගාවොට් 810 ක දැවැන්ත ධාරිතාවය කළමනාකරණය කර ගැනීමේ තාක්ෂණික අභියෝගය හමුවේ මෙම පියවර ගැනීමට බලධාරීන්ට සිදුව ඇත.