sri-lanka-is-not-the-only-country-in-the-world-that-gives-priority-to-buddhism---ranil

ඓතිහාසික මිහින්තලේ මින්ඉඳු මහ සෑයේ කොත නිරාවරණය කිරීමේ උත්සව භූමියේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනහැර දැක්වූයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ බුදුදහම පිළිබඳව සමාජයේ පවතින සාකච්ඡාවට නව මානයක් එක් කරන කරුණකි. ශ්‍රී ලංකාව යනු බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ලෝකයේ එකම රට නොවන බව ඔහු එහිදී අවධාරණය කළේය.

ථේරවාද බුදුදහම අනුගමනය කරන සසුන්ගත රටවල්ද තම රාජ්‍යයන් තුළ බුද්ධාගමට ප්‍රමුඛතාව ලබාදීම සඳහා අනුගමනය කරන්නේ ශ්‍රී ලංකාව භාවිත කරන ආකාරයේම ක්‍රමවේදයක් බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.




ශ්‍රී ලංකා ජනරජය සහ තායිලන්ත රාජධානිය වැනි නූතන රාජ්‍යයන් බුද්ධාගම දෙස බලන්නේ එකම අයුරින් බව පැහැදිලි කළ ඒ මහතා, මේ කිසිදු රටක ආගමික පදනමින් ජනතාවට වෙනස්කම් සිදු නොකරන බව සිහිපත් කළේය. තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය මෙන්ම පූර්ණ ආගමික නිදහස මෙම රටවල සියලු වැසියන්ට තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි කර දී ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ උඩරට නායකයන් අතර අතීතයේ ඇති කරගත් එකඟතාවයක් මත බවත්, 1954 වර්ෂයේදී එංගලන්තයේ රජු සහ දෙවන එලිසබෙත් රැජින ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේදී පවා එම ගෞරවය පිළිගත් බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මෙන්ම පූර්ණ ආගමික නිදහසක් පවතින තායිලන්තයේ, ජනතාව සතු පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන්නේ රජතුමා විසිනි. තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67 වැනි වගන්තියට අනුව එරට රජතුමා අනිවාර්යයෙන්ම බෞද්ධයෙකු විය යුතු අතර, උන්වහන්සේ විසින් බුද්ධාගම ආරක්ෂා කර පෝෂණය කළ යුතු බවට උපදෙස් ලබා දී තිබේ. තායිලන්තය පමණක් නොව කම්බෝජය ඇතුළු බෞද්ධ රටවල ස්වභාවයද මේ හා සමාන බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.




මෙම රටවල් අතර පවතින සමානතාවයේ මූලයන් ඈත අතීතය දක්වා දිවයයි. හිටපු ජනාධිපතිවරයා එහි ඓතිහාසික පසුබිමද මෙහිදී විස්තර කළේය. දෙවන ධර්ම සංගායනාවෙන් පසුව මතුවූ ගැටලු නිරාකරණය කරගැනීම සඳහා පාටලීපුත්‍රයේදී තෙවන ධර්ම සංගායනාව පැවැත්වීමෙන් අනතුරුව, අශෝක අධිරාජයාගේ මඟපෙන්වීම යටතේ මිහිඳු මහා රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර ථේරවාද බුදුදහම ස්ථාපිත කරන ලදී. දේවානම්පියතිස්ස රජතුමා එම දහම පිළිගනිමින් පැවිදි වූ භික්ෂූන් වහන්සේලා උදෙසා මහා විහාරය පිහිටුවූ ආකාරය ඔහු සිහිපත් කළේය. රුවන්වැලි සෑය ප්‍රධාන කරගනිමින් ගොඩනැගුණු එම මහා විහාරය, වසර දහසකට වැඩි කාලයක් පුරාවට ථේරවාද බුදුදහමේ ප්‍රධානතම අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත්ව තිබිණි. පාලි බුදුදහම උගන්වනු ලැබුවේද, පසුව ත්‍රිපිටකය තෙලිපොත්වල ග්‍රන්ථාරූඪ කරන ලද්දේද එහිදීය.

පසුව එළඹුණු පළමු පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයේදී විවිධ නිකායන්ට අයත්ව තිබූ ආරාම සියල්ල මහා විහාරය වටා එක්සේසත් කිරීමට පියවර ගැනිණි. පොලොන්නරුව අගනුවර ලෙසත්, ත්‍රිකුණාමලය ප්‍රධාන වරාය ලෙසත් පැවති එම යුගයේදී, දිඹුලාගල කේන්ද්‍ර කරගනිමින් මහසාමි හිමියන් ඇතුළු මහා සංඝරත්නය ආගමික කටයුතුවල නිරත වූහ. ශ්‍රී ලංකාව එදා ථේරවාද බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ ආකාරය තවදුරටත් අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, එකල තායිලන්තය සහ කම්බෝජය වැනි රටවලින් පවා භික්ෂූන් වහන්සේලා ථේරවාද බුදුදහම හැදෑරීම සඳහා ලංකාවට පැමිණි බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.