අධිකරණයට අපහාස කිරීමේ වරදට සිර දඬුවම් නියම වී සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්යානයේ පැවති විරෝධතාවක් අතරතුරදී පූජ්ය බලංගොඩ කස්සප හිමියන්ට පොලීසිය විසින් පහර දුන් බවට මාධ්යයට සහ සමාජ මාධ්යයට සිදුකළ ආන්දෝලනාත්මක ප්රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම විමර්ශනයට අදාළව, අදාළ ප්රකාශය සිදුකළ පූජ්ය උලපනේ සුමංගල හිමියන්ගෙන් අද (19) පස්වරුවේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දීර්ඝ ප්රකාශයක් සටහන් කරගෙන ඇත. උන්වහන්සේ සේවය කරන නාරහේන්පිට ඩඩ්ලි සේනානායක විද්යාලයට පැමිණි පොලිස් නිලධාරීන් පැය තුනත් හතරත් අතර ආසන්න කාලයක් පුරා මෙලෙස ප්රකාශය ලබාගෙන ඇති බව වාර්තා වේ.
මෙවැනි පහරදීමක් සත්ය වශයෙන්ම සිදුවී ඇත්දැයි වහාම විමර්ශනය කර වාර්තා කරන ලෙස පොලිස්පතිවරයා විසින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට දැනුම් දීමෙන් පසු මෙම පරීක්ෂණ ක්රියාත්මකයි. කෙසේ වෙතත්, බලංගොඩ කස්සප හිමියන්ට පොලීසිය පහරදුන් බවට මේ දක්වා කිසිදු පොලිස් ස්ථානයකට නිල පැමිණිල්ලක් ඉදිරිපත්ව නොමැති බව පොලීසිය අවධාරණය කරයි.
මේ අතර, පහරදීමකට ලක්වූ බව කියන පූජ්ය බලංගොඩ කස්සප හිමියන්ගේ රෝහල්ගත වීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතා තීරණාත්මක කරුණු කිහිපයක් අනාවරණය කළේය. පෙරේදා (17) රාත්රී 8.30 ට පමණ ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්රතිකාර සඳහා කස්සප හිමියන් පැමිණි බවත්, තම හිසට පහරක් වැදුණු බව එහිදී උන්වහන්සේ වෛද්යවරුන්ට පවසා ඇති බවත් අධ්යක්ෂවරයා සඳහන් කළේය.
රෝහල් අධ්යක්ෂවරයා පෙන්වා දෙන පරිදි, පැමිණි කාරණය සම්බන්ධයෙන් වෛද්යවරුන් විසින් උන්වහන්සේව පරීක්ෂාවට ලක් කර, අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් මෙන්ම රුධිර පරීක්ෂාවන් ද සිදුකර තිබේ. එම පරීක්ෂණවලට අනුව උන්වහන්සේගේ සෞඛ්ය තත්ත්වයේ කිසිදු ගැටලුකාරී බවක් හෝ වරදක් නොමැති බව ඒ අවස්ථාවේදී නිරීක්ෂණය වී ඇත.
එසේ වුවද, හිසට පහරක් වැදුණු බව පැවසූ බැවින් කස්සප හිමියන්ව හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කර පූර්ණ පරීක්ෂාවකට හා නිරීක්ෂණයකට ලක් කිරීම සඳහා නිරීක්ෂණ වාට්ටුවක තබාගැනීමේ අවශ්යතාව වෛද්යවරුන් විසින් උන්වහන්සේට යෝජනා කර තිබේ. එහෙත්, තමාට තවදුරටත් ප්රතිකාර අනවශ්ය බව දන්වා සිටි බලංගොඩ කස්සප හිමියන් රෝහලට පැමිණ පැයකට පමණ පසු, එනම් එදින රාත්රී 9.30 ට පමණ ආසන්න වෙලාවකදී රෝහලෙන් බැහැරව ගොස් ඇති බව වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතා තවදුරටත් තහවුරු කළේය.