හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (12) පෙරවරුවේ කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.
ඔහුට සමීප ආරංචි මාර්ග පවසන පරිදි, කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි සිය නිවසේ රැඳී සිටියදී හිටපු ජනාධිපතිවරයා මෙලෙස හදිසි අසනීප තත්ත්වයට මුහුණ දී ඇත. මේ වන විට දිවයිනේ ප්‍රකට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් දැඩි සත්කාර ඒකකයේදී ඔහුට අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය මුළුල්ලේම ඔහු විවිධ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ද මුහුණ දී සිටි බව වැඩිදුරටත් දැනගන්නට ලැබේ.
අද දිනයේදී වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස්, එහි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීමට යාමට හිටපු ජනාධිපතිවරයා මින් පෙර අපේක්ෂාවෙන් පසුවිය. එහෙත් අද පෙරවරුවේ උද්ගත වූ මෙම හදිසි රෝගී තත්ත්වයත් සමග ඔහුව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
ශිරන්ති රාජපක්ෂගේ ඇප ඉල්ලීම උසාවියේ සලකා බලන්නට නියමිතව ඇත්තේ හෙට (13) යි.
