වසර තිස් අටක් පුරා අසරණ රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් සිය වෘත්තීය කැපකළ ඇය, රාජකාරියට යාම සඳහා වසර දහහතරක් පුරා ගමන් ගත් බස් රථයටම යටවී සැමියාගේ දෑස් ඉදිරිපිටදීම ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ කාර්යභාර ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක ලෙස කටයුතු කළ බණ්ඩාරගම, කළුතර පාරේ, ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි තිදරු මවක වන ජී. ටී. රමණි ප්‍රේමලතා මහත්මියයි.
පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (10) අලුයම 5.30 ට පමණය. සුපුරුදු පරිදි රාජකාරියට යාම සඳහා ඇය සිය නිවස ඉදිරිපිට පිහිටි බස් රථ නැවතුමට පැමිණෙමින් සිටියාය. බස් රථය නැවතුමට පැමිණීමත් සමඟ මාර්ගය හරහා ගොස්, එයට නැගීම සඳහා බස් රථය ඉදිරිපිටින් ගමන් කිරීමේදී ඇය මෙලෙස අනතුරට ලක්ව තිබේ.
අනතුර සිදුවූ වහාම කිසිදු බාහිර තුවාලයක් දක්නට නොලැබුණු බවත්, ඇයව පළමුව බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන ගිය බවත් ඇගේ සැමියා වන එල්.සී. නානායක්කාර මහතා පවසයි. වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇයව යොමු කිරීමට අවශ්‍ය වුවද, ගිලන් රථය ප්‍රමාද වීම හේතුවෙන් ඊට බාධා එල්ල වූ බව ඔහු හැඬු කඳුළින් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යාගාරයේදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මාධව ප්‍රේමනාත් මහතා විසින් සිදු කරනු ලැබ ඇත. එහෙත්, මෙම ශෝකජනක අවස්ථාවේදී පවුලේ ඥාතීන්ට තවත් දැඩි අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදුවූ බව මියගිය නිලධාරිනියගේ සැමියා චෝදනා කරයි.
ඔහු පවසන පරිදි, පෙරේදා (10) දිනයේදී අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම අධිකරණ වෛද්‍ය නිලධාරිනියක විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ තම දරුවා අමතර පන්තියකින් රැගෙන ඒමට ඇති බව පවසමිනි.
"මගේ නෝනා අවුරුදු 38 ක් අසරණ රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කළා. අන්තිමට ඇයගේ මළ සිරුරවත් නිදහසේ ගන්න බැරි තත්ත්වයක් උදාවුණා. මේ වගේ අසාධාරණ ක්‍රියාවන් වලට එරෙහිව වගකිවයුතු නිලධාරීන් පියවර ගනීවියයි බලාපොරොත්තු වෙනවා," යනුවෙන් නානායක්කාර මහතා සිය වේදනාව ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය ඇමැතිවරයාගේ සහ ලේකම්වරයාගේ පිහිට පැතීමට තමන්ට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ඉන් අනතුරුව වෙනත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර, පොලිසිය පවසන පරිදි එහිදී අනාවරණය වී ඇත්තේ ඉළ ඇටවලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් පෙනහළුවලට රුධිරය වහනය වීම මරණයට හේතු වී ඇති බවයි.
අනතුරට සම්බන්ධ කැස්බෑව ඩිපෝවට අයත් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ උපදෙස් මත, පොලිස් කොස්තාපල්වරුන් වන උඩවත්ත (103710), නුවන් (83806) සහ මදුසංක (55389) යන මහත්වරුන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
