සෞදි අරාබියේ අගනුවර රියාද් හි කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පසුගිය සෙනසුරාදා (10) එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් 12 දෙනෙකු මිය ගොස් තවත් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි නිලධාරීහු පවසති. තුවාලකරුවන් අතරින් කිහිප දෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතළ බව ද වාර්තා වේ.
මියගිය අය අතර ඇමෙරිකානු පුරවැසියෙකු ද සිටින බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ තහවුරු කළේය. හූති සංවිධානය "ත්‍රස්තවාදීන්" ලෙස හඳුන්වමින් සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාර දැඩි ලෙස හෙළා දුටු ඔහු, එම ප්‍රහාරයෙන් ඇමෙරිකානු පුරවැසියෙකු ඇතුළු අහිංසක ජීවිත රැසක් අහිමි වූ බව සමාජ මාධ්‍ය පණිවුඩයක් මගින් පැවසීය.
යේමනයේ ක්‍රියාත්මක සෞදි ප්‍රමුඛ සන්ධානය මෙම ප්‍රහාරයේ වගකීම හූති කැරලිකරුවන් මත පැටවූ අතර, පසුගිය සතිය තුළ කිං ඛාලිද් ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාර මාලාවේ නවතම ප්‍රහාරය වූ මෙය, ඉරාන යුද්ධය ඇරඹුණු දින සිට ගල්ෆ් අරාබි රටක සිදු වූ මාරාන්තිකම ප්‍රහාරය බවට පත්ව තිබේ. මෙම ගුවන්තොටුපළේ කිසිදු හමුදා පහසුකමක් නොමැති බව ද වාර්තා පෙන්වා දෙයි.
ප්‍රහාරයෙන් පසු ගුවන්තොටුපළ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවූ අතර, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ඇතුළු රටවල් සිය පුරවැසියන්ට ගුවන්තොටුපළෙන් ඈත්ව සිටින ලෙස අනතුරු ඇඟවීය.
මෙම ඛේදවාචකයෙන් එක් දිනකට පසු, එනම් ඉරිදා (11) දිනයේ, රියාද් ගුවන්තොටුපළේ මගී පර්යන්තයක් නැවතත් ප්‍රහාරයකට ලක් විය. දේශීය ගුවන් ගමන් සඳහා භාවිත වන 3 සහ 4 පර්යන්ත සංකීර්ණයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ද තුවාල සිදු වූ බව සෞදි බලධාරීහු පැවසූහ. මේ අතර, සෙනසුරාදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඉන්දියානු ජාතිකයෙකු ඉරිදා මිය ගිය බව සෞදි අරාබියේ ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කළේය.
මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක නායකයින්ගේ දැඩි විවේචනයට ලක් වූ අතර, හූතීන්ට එරෙහි සෞදි ප්‍රහාරවලට එක්වීම පිළිබඳව සලකා බලන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඊජිප්තුව ද ගුවන්තොටුපළ ප්‍රහාරය ඇතුළු සෞදි අරාබියට එල්ල වන අඛණ්ඩ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් සහ විවිධ ජාතීන්ට අයත් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව නොසලකා හැරීමක් ලෙස හෙළා දුටුවේය.
සෞදි අරාබිය යේමනයේ ඉරාන සහාය ලබන හූති සංවිධානයට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කළේ පසුගිය සති අන්තයේදීය. ඉන් පසු රියාද් ගුවන්තොටුපළ නැවත නැවතත් ඉලක්ක විය. ඔක්තෝබර් 8 වැනිදා එල්ල වූ ප්‍රහාරයකින් සෞදියා ගුවන් සේවයේ ගුවන් නියමු කපිතාන් හමූද් අලි අල් කල්තාමි ජීවිතක්ෂයට පත් වූ අතර, ඊට දින කිහිපයකට පෙර එම ගුවන්තොටුපළේදීම සුඩාන ජාතිකයෙකු ද මරුමුවට පත් විය. සනා ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ හොඩෙයිඩා ගුවන්තොටුපළට සෞදි අරාබිය එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස තමන් මෙම ප්‍රහාර එල්ල කරන බව හූතීහු පවසති.

