online-booking-system-for-medical-examinations-for-driving-licenses-launched

රියදුරු බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂිත පුද්ගලයන් සඳහා වන වෛද්‍ය පරීක්ෂණ දිනයන් සහ වේලාවන් වෙන්කරවා ගැනීමේ නව ඩිජිටල් මාර්ගගත ක්‍රමවේදයක් හෙට (24) සිට සක්‍රිය කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගෙන තිබේ. එම ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ, වෛද්‍ය සහතික ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙම නව පද්ධතිය හඳුන්වා දෙන බවයි.




මෙම නව අතුරුමුහුණත ඔස්සේ ඕනෑම දුරකථන ජාලයක් භාවිතා කරමින් වෛද්‍ය පරීක්ෂණය සඳහා තමන්ට පහසු දිනයක් හා වේලාවක් අන්තර්ජාලය ඔස්සේ පූර්වයෙන් වෙන්කරවා ගැනීමට මහජනතාවට පහසුකම් සැලසේ. මෙලෙස වේලාවක් සහ දිනයක් වෙන්කරවා ගැනීමේදී අයදුම්කරුවන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන බවද සභාපතිවරයා තහවුරු කළේය.

මීට අමතරව, පවතින ඉල්ලුමට සරිලන පරිදි ඉදිරියේදී මෙම මාර්ගගත පද්ධතිය ඔස්සේ ලබාදෙන වෙන්කිරීම් අවස්ථා සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට කටයුතු යොදන බව මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියේය.