බන්ධනාගාරගත කර සිටින ප්‍රකට පාතාල කල්ලි නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ යන දෙදෙනා අතර ඊයේ (22) පස්වරුවේ බන්ධනාගාරය තුළදී උණුසුම් ගැටුමක් හටගෙන තිබේ. මෙම සිදුවීමෙන් සුළු තුවාල ලැබූ කෙහෙල්බද්දර පද්මේ ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම හදිසි ගැටුමට ආසන්නතම හේතුව ලෙස සැක කෙරෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ ආරවුලක් හෝ කෙහෙල්බද්දර පද්මේ විසින් පසුගිය සමයේ පවත්වාගෙන ගිය බව කියන කිසියම් සබඳතාවයකි. විදේශයන්හි සැඟවී සිටියදී ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් මෑතකදී මෙරටට ගෙනෙන ලද මොවුන් දෙදෙනා අතුරින්, කෙහෙල්බද්දර පද්මේ මීට පෙර රැඳවුම් භාරයේ සිටියේ වැලිසර බන්ධනාගාරයේය. කෙසේ වෙතත්, ඔහුගේ නීතිඥයන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ලැබුණු නියෝගයක් මත, ආරක්ෂිත පියවරක් ලෙස ඔහු පසුව බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවන ලදී.
පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම ඇතුළු බරපතළ අපරාධ රැසකට කෙහෙල්බද්දර පද්මේ නමැත්තා චෝදනා ලබා සිටියි. එමෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් සහ විවිධ අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් හරක් කටාට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවෙද්දී එතැනින් පලා යාමට කුමන්ත්‍රණය කිරීමේ සිදුවීමකටද චෝදනා ලබා සිටින අයෙකි.
