seat-belt-laws-on-highways-to-be-tightened-from-september-19th

දිවයිනේ අධිවේගී මාර්ග පද්ධතිය තුළ ගමන් ගන්නා සියලුම රථවාහනවල මගීන් සඳහා ආසන පටි පැලඳීම අනිවාර්ය කෙරෙන නීතිය එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා සිට දැඩි ලෙස බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ. රිය අනතුරුවලින් සිදු වන බරපතළ හානි වළක්වා ගනිමින් මාර්ග ආරක්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් රජය විසින් හඳුන්වා දී ඇති මෙම නව නීතිරීතිවලට අනුව, වාහනවල ඉදිරිපස මෙන්ම පසුපස අසුන්වල ගමන් කරන පිරිස්ද අනිවාර්යයෙන්ම ආසන පටි භාවිතා කළ යුතුය.




මෙම නීතිමය රාමුව අධිවේගී මාර්ගවල ධාවනය වන පොදු මගී ප්‍රවාහන බස් රථ සඳහාද සෘජුවම බලපැවැත්වේ. ඒ අනුව සියලුම බස් රථවල ආසන පටි පහසුකම් සලසා තිබීම බස් රථ හිමිකරුවන්ගේ වගකීමක් වන අතර, එකී ආසනවල ගමන් කරන මගීන් එම පටි පැලඳීම අනිවාර්ය කර ඇත. මෙම පහසුකම් නොසපයන බස් හිමියන්ට මෙන්ම අදාළ නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව දඩ මුදල් පැනවීම ඇතුළු තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

නව රෙගුලාසි පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පෑලියගොඩ අධිවේගී මාර්ග පිවිසුම් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහිදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් බස් රථ ක්‍රියාකරුවන් සහ මගීන් වෙත දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා දෙන ලදී. යම් යම් හේතූන් මත මීට පෙර කල් දැමීමට සිදු වූ මෙම පියවර එළඹෙන 19 වැනිදා සිට කිසිදු ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන බවත්, මගී ජනතාවට සුරක්ෂිත මෙන්ම සුවපහසු ගමනාන්තයක් තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.කේ. චන්ද්‍රපාල මහතා මෙහිදී සඳහන් කළේය.




ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ රථවාහන පොලීසිය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කරන අතර, නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර සහ පසුවද මෙම දැනුවත් කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත. පෑලියගොඩදී පැවැති මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සහ තත්ත්ව පාලන අධ්‍යක්ෂ ෂෙරීන් අතුකෝරල යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.