දිවයින පුරා ජලභීතිකා රෝගය මුලිනුපුටා දැමීම, සුනඛ ගහනය විධිමත් ලෙස පාලනය කිරීම සහ සෑම සුනඛයෙකුම අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් සකස් කරන ලද ‘ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ’ නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබේ. දැනට ක්‍රියාත්මක වන පැරණි ජලභීතිකා රෝග පිළිබඳ ආඥාපනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත අහෝසි කරමින්, කාලෝචිත හා දැඩි නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට මේ මගින් පියවර ගෙන ඇත.
නව යෝජනාවලට අනුව, වයස සති හය ඉක්මවූ සෑම සුනඛයෙකුටම වාර්ෂිකව ජලභීතිකා මර්දන එන්නත ලබාදී අදාළ පළාත් පාලන ආයතනය වෙත නියමිත ගාස්තු ගෙවා ලියාපදිංචි කිරීම හිමිකරුවන්ට හෝ භාරකරුවන්ට අනිවාර්ය වේ. මෙම එන්නත්කරණය රජයේ හෝ ලියාපදිංචි පශු වෛද්‍යවරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු අතර, ඒ වෙනුවෙන් නිකුත් කෙරෙන නිල එන්නත් සහතිකය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ පළාත් පාලන ආයතනය මගින් ලියාපදිංචි අංකයක් සහ සහතිකයක් ලබාගත හැකිය.
බලයලත් නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින අවස්ථාවක මෙම සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයිතිකරුවන්ට ඒ සඳහා දින 14ක සහන කාලයක් හිමිවන අතර, එම කාලය තුළ ලියාපදිංචි නොවන්නේ නම් නියමිත ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩයක් අය කිරීමට නියමිතය. ඉන් අනතුරුව අදාළ පළාත් පාලන ආයතනය මගින්ම එම සතා එන්නත් කර ලියාපදිංචි කිරීමට පියවර ගනු ඇත. මීට අමතරව, පොදු ස්ථානවල සුනඛයන් අතහැර දමා යන පුද්ගලයන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ නඩු පවරා රුපියල් 10,000ක් දක්වා දඩයක් හෝ මාස 3ක් දක්වා සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමටද නව පනතින් විධිවිධාන සලසා ඇත.
වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම සහ පැටවුන් අලෙවි කිරීම සපූරාම නියාමනය කර ඇති අතර, පළාත් පාලන ආයතනයකින් ලබාගන්නා නිල බලපත්‍රයකින් තොරව සුනඛ අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වේ. එවැනි බලපත්‍රලාභී ස්ථානවල සතුන් උදෙසා ප්‍රමාණවත් ඉඩකඩ, සෞඛ්‍යාරක්ෂිත බව, ආහාර හා ජලය සැපයීම අනිවාර්ය කර ඇත. එමෙන්ම, සිය බලප්‍රදේශය තුළ අයාලේ යන සුනඛයන් පශු වෛද්‍යවරුන් ලවා වන්ධ්‍යාකරණයට ලක් කිරීමට පළාත් පාලන ආයතන ක්‍රියා කළ යුතු අතර, සුනඛයෙකු විසින් සිදු කරන යම් ආක්‍රමණයක් හෝ හානියක් සම්බන්ධයෙන් එහි හිමිකරු සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. විදේශයන්ගෙන් මෙරටට ගෙන එනු ලබන සියලුම සුනඛයන් අවම වශයෙන් දින 30ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමද මෙමගින් අනිවාර්ය කර තිබේ.