140-missing-after-indonesian-passenger-ship-sinks-in-java-sea

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවාහි සුරබායා සිට දකුණු කාලිමන්තාන්හි බංජාර්මාසින් දක්වා මගීන් සහ වාහන ප්‍රවාහනය කරමින් තිබූ 'KM Virgo Transport 8' නැමැති රෝ-රෝ (Ro-Ro) මගී නෞකාව ජාවා මුහුදේදී අයහපත් කාලගුණයට හසුව පෙරළී යාමෙන් පුද්ගලයන් 140 කට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 2026 සැප්තැම්බර් 13 වන ඉරිදා අලුයම සිදු වූ මෙම අනතුර වන විට නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව පුද්ගලයන් 243 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

ප්‍රදේශයේ ගමන් ගත් අනෙකුත් වෙළඳ නෞකා මගින් මේ වන විට පුද්ගලයන් 103 දෙනෙකු මුදවා ගැනීමට සමත්ව ඇති අතර, සෙසු පිරිස සෙවීමේ මෙහෙයුම් ඉන්දුනීසියානු සෙවීම් සහ මුදවා ගැනීමේ ඒජන්සිය (Basarnas) මගින් තවදුරටත් ක්‍රියාත්මක කරයි.




මීටර් 119 ක දිගකින් යුත් මෙම නෞකාව සුරබායා හි තන්ජුං පේරක් වරායෙන් ගමන් ආරම්භ කර ඇත්තේ සැප්තැම්බර් 12 වන සෙනසුරාදා පෙරුම් 10:13 ත් 10:33 ත් අතර කාලයේදීය. බංජාර්මාසින් දක්වා කිලෝමීටර් 500 ක පමණ මුහුදු මාර්ගයක් ගමන් කිරීමට නියමිතව තිබූ නෞකාව ඉරිදා පස්වරුවේ ගමනාන්තයට ළඟා වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, ඉරිදා අලුයම 2:00 ට පමණ නෞකාව මගින් අයහපත් කාලගුණය පිළිබඳව වාර්තා කිරීමෙන් අනතුරුව ගුවන්විදුලි සන්නිවේදනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත.

නෞකාව අතුරුදහන් වූ බවට PT Virgo Karya Shipping සමාගමේ සාමාන්‍යාධිකාරී යොයෙල් රිහි විසින් අලුයම 4:10 ට පමණ බංජාර්මාසින් සෙවීම් සහ මුදවා ගැනීමේ කාර්යාලයට දැනුම් දීමෙන් පසුව පළමු මුදවා ගැනීමේ කණ්ඩායම් පිටත්ව ගොස් තිබේ. අන්තිමට වාර්තා වූ දත්ත අනුව නෞකාව බංජාර්මාසින් සිට කිලෝමීටර් 150 ක් පමණ දකුණින් වූ ජාවා මුහුදේ ගමන් කරමින් තිබී ඇති අතර, නෞකාව මුහුද මැදදී පෙරළී ගොස් ඇති බව වරාය නිලධාරීන් විසින් තහවුරු කර ඇත.




මුදවා ගත් පුද්ගලයන් 103 දෙනා ඒ අසලින් ගමන් කළ වෙළඳ නෞකා තුනක් මගින් ගොඩගෙන තිබේ. ඒ අනුව 'TB Mauhaw IX' යාත්‍රාව මගින් මියගිය එක් අයෙකුගේ මෘතදේහය ඇතුළුව 16 දෙනෙකුද, 'TB TCP' යාත්‍රාව මගින් 38 දෙනෙකුද, සහ 'MV Haida' යාත්‍රාව මගින් පුද්ගලයන් 49 දෙනෙකුද ජීවතුන් අතර මුදවාගෙන ඇත. මුදවා ගත් පිරිස බංජාර්මාසින්හි ත්‍රිසක්ති වරාය සහ ටුබාන් වරාය වෙත රැගෙන යමින් පවතින අතර, අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විශාල පිරිසක් සුරබායා සහ බංජාර්මාසින් වරාය පරිශ්‍රයන් වෙත රැස්ව සිටිති.

නෞකාවේ අතුරුදහන් වූවන් සෙවීම සඳහා 'KN SAR Laksmana 241' නෞකාව, හෙලිකොප්ටර් යානයක්, ඉන්දුනීසියානු නාවික හමුදා සහ පොලිස් යාත්‍රා යොදවා ඇති අතර ප්‍රදේශයේ ගමන් ගන්නා සියලුම යාත්‍රා වෙත මේ පිළිබඳව ගුවන්විදුලි පණිවිඩ මගින් දැනුම් දී ඇත. මුදවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීම සඳහා බංජාර්මාසින් ත්‍රිසක්ති වරායේ විශේෂ මෙහෙයුම් මැදිරියක්ද පිහිටුවා තිබේ.



ජපානයේ 1987 වසරේදී නිෂ්පාදනය කරන ලද මෙම 'KM Virgo Transport 8' නෞකාව මීට පෙර 'Ferry Kurushima' යන නමින් ජපානය තුළ සේවයේ යොදවා තිබූ එකකි. වසර 39 ක් පැරණි මෙම නෞකාව PT Virgo Karya Shipping සමාගම මගින් මෙහෙයවනු ලබයි. දූපත් 17,000 කින් සමන්විත ඉන්දුනීසියාවේ දූපත් අතර ගමනාගමනය සඳහා මෙවැනි පැරණි ජපන් රෝ-රෝ නෞකා බහුලව භාවිත වන අතර, අයහපත් කාලගුණය සහ ආරක්ෂිත ප්‍රමිතීන් පිළිබඳ ගැටලු හේතුවෙන් මෙවැනි අනතුරු නිතර වාර්තා වේ.

140-missing-after-indonesian-passenger-ship-sinks-in-java-sea

140-missing-after-indonesian-passenger-ship-sinks-in-java-sea