suresh-who-started-the-conflict-with-the-prisoners-attack-broke-his-back

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී හටගත් දරුණු කැරැල්ල මෙහෙයවූ ප්‍රධාන සැකකරුවකු වන, සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජික කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා සිරමැදිරිය තුළදී වෙනත් පිරිසකගේ දරුණු ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් එල්ල කරන ලදැයි සැකකෙරෙන මෙම පහරදීම හේතුවෙන් ඔහුගේ කොන්ද ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇති අතර, මේ වන විට ඔහුට ඇවිදීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.

සමාජ මාධ්‍ය තුළ ඇතැම් සාවද්‍ය වාර්තා මගින් සුරේෂ් මියගිය බව පැවසුණද එවැන්නක් සිදුව තිබුනේ නැත.




මෙම තත්ත්වයට පසුබිම් වූ මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල් කරගත් ගැටුම ඉකුත් 5 වැනිදා ආරම්භ වූ අතර, එහිදී සිරකරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු තුවාල ලැබූහ. ඉන් නොනැවතී ඊට පසුදින එනම් 6 වැනිදා, සිරකරුවන්ගේ ඉල්ලීමක් මත ඔවුන්ට ඥාතීන් හමුවීමට සහ ආහාර ලබාගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාරයෙන් කැඳවූ හදිසි උපක්‍රමික බළකායේ 10 දෙනෙකුගෙන් යුත් නිලධාරී කණ්ඩායමකට ද රැඳවියන් විසින් දරුණු ලෙස පහර දී ඇත. එහිදී බන්ධනාගාර නිලධාරීන්ව ප්‍රාණ ඇපයට ගනිමින් අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඇති අතර, ඇතැම් නිලධාරීන් එම ස්ථානයේදීම ඝාතනය කර තවත් පිරිසකට බරපතළ තුවාල සිදු කිරීමට කැරලිකරුවන් කටයුතු කර තිබිණි. මෙම දෙවන දින ගැටුමද එකතුවී අවසානයේ ජීවිත 27 ක් බිලිගත්තේය.

උසස් බන්ධනාගාර නිලධාරියෙකු ප්‍රකාශ කළ පරිදි, බන්ධනාගාරය තුළ ඇති වූ මෙම මහා පරිමාණ කලහකාරී තත්ත්වය තිරය පිටුපස සිට මෙහෙයවා ඇත්තේ ප්‍රකට පාතාල සාමාජික කෙහෙල්බද්දර පද්මගේ සමීපතමයකු වන කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තාය. මීගමුවේ රොකී ඇතුළු 13 දෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙම සමස්ත කුමන්ත්‍රණය සැලසුම් කර තිබුණ ද, පුදුමයකට මෙන් ගැටුම අවසානයේ ඔවුන් කිසිවෙකුටත් කිසිදු සීරීමක් හෝ සිදුව නොතිබිණි. බන්ධනාගාරයේ මුල් දිනයේ සිදුවූ ද්විත්ව මිනිස් ඝාතන පිටුපස සිටින්නේ ද මොවුන් බවට විමර්ශන නිලධාරීන් සැක කරන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම, මංකොල්ලකෑම් සහ මීට වසර දහයකට පෙර විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකට සහ සහායකයකුට පහර දී බැඳ දමා චෛත්‍යයකට හානි කිරීම ඇතුළු බරපතළ අපරාධ චෝදනා රැසක් මෙම සුරේෂ් නමැත්තාට එරෙහිව පවතී.




සිද්ධියෙන් පසුව ආරක්ෂිත පියවරක් ලෙස කටුවැල්ලේගම සුරේෂ්, මීගමුවේ රොකී ඇතුළු දරුණු ගණයේ රැඳවියන් රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට බලධාරීන් පියවර ගත් අතර, මත්ද්‍රව්‍යවලට විරුද්ධ රැඳවියන් ද ඇතුළු තවත් පිරිසක් දිවයිනේ විවිධ බන්ධනාගාර වෙත විසිරුවා හැරීමට කටයුතු කෙරිණි. කෙසේ වෙතත්, මෙම මාරු කිරීම්වලින් පසුව බූස්ස, අඟුණකොළපැලැස්ස සහ වැලිකඩ යන බන්ධනාගාර වෙත යොමු කළ රැඳවියන් තිදෙනෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් අරඹා තිබේ. බන්ධනාගාර පරිපාලනය පවසන්නේ බූස්ස සහ අඟුණකොළපැලැස්ස වෙත යැවූ රැඳවියන් දෙදෙනා හදිසි අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත්, වැලිකඩ බන්ධනාගාරයට මාරු කළ රැඳවියා සියදිවි හානිකරගෙන ඇති බවත්ය.

මේ අතර, සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර බලධාරීන්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් චෝදනා කරන්නේ මීගමුවෙන් මාරු කර යැවූ රැඳවියන්ට එම බන්ධනාගාරවල නිලධාරීන් විසින් අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඇති බවයි. වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ මරණය දරුණු පහරදීම්වල ප්‍රතිඵලයක් මිස සියදිවි හානිකර ගැනීමක් නොවන බව පවසන එම කමිටුව, සිරකරුවන්ගෙන් පළිගැනීම වහාම නතර කරන ලෙස බලකර සිටියි. පොලිස් වාර්තාවලට අනුව බූස්ස බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු කරාපිටිය රෝහලේදී මියගොස් ඇත්තේ කටුගොඩ පදිංචි 37 හැවිරිදි ජේ.කේ.එන්. බුද්ධික පෙරේරා නැමැත්තෙකි. එමෙන්ම, මීගමුවෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කළ රැඳවියන් 120 දෙනා අතර සිටි, තවමත් අනන්‍යතාව තහවුරු කර නොමැති රැඳවියකු ද ලියාපදිංචි කිරීමේ කටයුතු අතරතුර පපුවේ වේදනාවක් හටගෙන රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මෙම මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සහ පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.

suresh-who-started-the-conflict-with-the-prisoners-attack-broke-his-back