
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු සතියක කාලයක් සඳහා ඔන්ලයින් (Online) සහ හයිබ්‍රිඩ් (Hybrid) ක්‍රමවේද ඔස්සේ පැවැත්වීමට පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ශාස්ත්‍ර, නීති, කළමනාකරණ, අධ්‍යාපන සහ විද්‍යා යන පීඨවල දේශන කටයුතු මෙලෙස සන්නිවේදන තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ සිදු කිරීමට තීරණය කළ බවයි.
මේ වන විට විශ්වවිද්‍යාලයේ සිසුන් 71 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳී ඇති අතර ඉන් සිසුන් පස් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. වාර්තා වී ඇති රෝගීන්ගෙන් බහුතරයක් විද්‍යා සහ ශාස්ත්‍ර පීඨවලට අයත් වන බැවින්, සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව මෙන්ම අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කරමින් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය මෙම තීරණයට එළඹ තිබේ. ඩෙංගු රෝගයෙන් සුවය ලැබීම සඳහා විවේකය අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින්, පීඩාවට පත් සිසුන්ට තම සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කිරීමට අවස්ථාව සලසා දෙමින් සහ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් මෙම විකල්ප දේශන ක්‍රමවේදය හඳුන්වා දී ඇත.
විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බලධාරීන් මේ වන විටත් පියවර රැසක් ගෙන ඇති අතර, රෝහල්ගත කර සිටින සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද නිරන්තරයෙන් සමීපව සොයා බලනු ලැබේ. දැනට පවතින තත්ත්වය පාලනය කර ඇති බව තහවුරු කරන උපකුලපතිවරයා, කිසියම් සිසුවෙකුට උණ රෝගී ලක්ෂණ මතු වුවහොත් ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ශිෂ්‍ය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විශේෂයෙන්ම අවධාරණය කළේ මෙම සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය දේශන පවත්වායාම නවතා දමා නොමැති බවයි. එමෙන්ම ඉදිරියේදී හෝ විශ්වවිද්‍යාලය අඩපණ කරන කිසිදු බලාපොරොත්තුවක් හෝ සූදානමක් නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.