කොළඹ බේරේ වැව පිරිසිදු කිරීමේ විශේෂ කෙටිකාලීන තාක්ෂණික ව්‍යාපෘතියක් සඳහා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඉංජිනේරු නහීල් විජේසූරිය මහතා විසින් පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදෙන බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල ද පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වී තිබේ. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මතු වූ කරුණු වැරදියට අර්ථකථනය කරමින්, මුහුදු ජලය යොදා ගනිමින් වැවේ අපවිත්‍ර ජලය සෝදා හැරීමේ මූලික අදියර සඳහා මෙම මූල්‍ය අනුග්‍රහය ලැබෙන බවට පුළුල් ප්‍රචාරයක් සමාජය තුළ නිර්මාණය වී තිබුණි.
මේ සම්බන්ධයෙන් නහීල් විජේසූරිය මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහු අවධාරණය කළේ බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා කිසිදු මූල්‍යමය ආධාරයක් ලබා දීමට ඒ මහතා එකඟ වී නොමැති බවයි. කෙසේ වෙතත්, අදාළ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික සහ වෘත්තීය උපදෙස් මාලාව කිසිදු ගාස්තුවකින් තොරව නොමිලේ ලබා දීමට ඒ මහතා කැමැත්ත පළ කර ඇති බව ලේකම්වරයා පැහැදිලි කළේය.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ද මෙම ප්‍රවෘත්ති සාවද්‍ය බව තහවුරු කළ අතර, අදාළ සමාජ මාධ්‍ය සටහන් අමාත්‍යාංශය හෝ නිලධාරීන් විසින් නිකුත් කරන ලද නිල නිවේදන නොවන බව ප්‍රකාශ කළේය. බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් යෝජනාවක් ඉදිරිපත් වුවද එහි කිසිදු මූල්‍ය දායකත්වයක් පිළිබඳව සඳහන් වී නොමැති බවත්, දැනට වැව ආශ්‍රිතව සිදු කෙරෙන සියලුම පිරිසිදු කිරීමේ කටයුතුවල සම්පූර්ණ පිරිවැය රජය විසින් දරනු ලබන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මීට අමතරව, නිසි තාක්ෂණික වාර්තාවකින් සහ ප්‍රමිතියකින් තොරව මුහුදු ජලය පිරවීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බව ද අමාත්‍යාංශය පවසයි.
බේරේ වැවේ පවතින දැඩි දුර්ගන්ධයට ස්ථිර විසඳුමක් ලබා දීමට වසර දෙකහමාරක පමණ කාලයක් ගතවන බැවින්, පවතින අපහසුතාව කඩිනමින් අවම කිරීම සඳහා රජය මේ වන විට තාවකාලික පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මේ වන විටත් මඩ ඉවත් කිරීමේ සහ තාවකාලික පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. වැවට අපද්‍රව්‍ය බැහැර කෙරෙන මලාපවහන පද්ධති පිළිබඳ ගැටලුවලට විසඳුම් සෙවීම ඇතුළු දීර්ඝකාලීන ව්‍යාපෘතිය සඳහා මෙවර අයවැයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ද නියමිතය.
දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ අවිධිමත් නාගරීකරණය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දූෂණය වී ඇති බේරේ වැවේ ජලය නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීමේ සෘජු වගකීම, එහි අයිතිය පවතින ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පවරා ඇත. නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අනාවරණය කළ පරිදි, වැවේ ස්ථාන 35කින් ලබාගත් ජල සාම්පල පරීක්ෂා කිරීමේදී නයිට්‍රජන්, පොස්පරස් සහ ඇමෝනියා වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය ඉතා ඉහළ මට්ටමක පවතින බව හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් පාවෙන කුණු, සුන්බුන් සහ ජලජ වල් පැලෑටි ඉවත් කරමින් වැව් ඉවුරු පිරිසිදු කිරීමටත්, ජලයේ තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් දූෂණයට මූලික හේතු හඳුනා ගැනීමටත් රජයේ ආයතන මේ වන විට ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත.