දකුණු ලන්ඩනයේ මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා ලැබූ 14 හැවිරිදි පාසල් සිසුවෙකුට එරෙහිව ත්‍රස්තවාදී වැරදි යටතේ නඩු පවරා තිබේ. දක්ෂිණාංශික අන්තවාදී ත්‍රස්තවාදයට (extreme right-wing terrorism) සම්බන්ධ මෙම සිද්ධිය අනාවරණය වී ඇත්තේ අදාළ සැකකාර දරුවාගේ නිවස පොලිසිය විසින් සෝදිසි කිරීමකට ලක් කළ අවස්ථාවේදීය.
පසුගිය ජූලි 9 වැනිදා වාහනයකට හානි කිරීමේ චෝදනාවක් මත මෙම යෞවනයාව මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත. ඉන් අනතුරුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන්ට එහි තිබී සැක කටයුතු ලේඛන කිහිපයක් හමුවී ඇති බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය තහවුරු කරයි. ඒ අනුව කිරුළ හිමි නීතිඥ සේවය (Crown Prosecution Service) සහ ත්‍රස්ත මර්දන පොලිසිය එක්ව සිදු කළ වැඩිදුර විමර්ශනවලින් පසු, ජූලි 9 හෝ ඊට පෙර ත්‍රස්තවාදී ක්‍රියා සඳහා සූදානම් වීම මෙන්ම, ජූනි 20 හෝ ඊට පෙර සටන් (Sutton) ප්‍රදේශයේදී මෝටර් රථයක වීදුරුවකට හානි කරමින් ජාතිවාදී පදනමකින් දේපළවලට හානි කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල කර ඇත.
මෙම ප්‍රහාර සැලසුමේ ඉලක්කය වී තිබුණේ සටන් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලි දෙකකි. අදාළ පල්ලිවල පාලනාධිකාරිය මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර විශේෂඥ නිලධාරීන්ගේ සහාය සහ ආරක්ෂාව ඔවුන්ට මේ වන විටත් ලබා දී ඇත. මෙම සැලසුමට සම්බන්ධ වෙනත් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් සොයමින් නොමැති බවද පොලිසිය පවසයි. ලන්ඩන් ත්‍රස්ත මර්දන පොලිසියේ ප්‍රධානී හෙලන් ෆ්ලැනගන් මහත්මිය ප්‍රකාශ කළේ, මෙතරම් කුඩා දරුවෙකුට එරෙහිව මෙවැනි බරපතල ත්‍රස්ත චෝදනාවක් එල්ල වීම මහජනතාවට මෙන්ම ප්‍රාදේශීය ප්‍රජාවට දැඩි කනස්සල්ලක් ගෙන දෙන කරුණක් බවයි. විශේෂයෙන්ම මෙය මුස්ලිම් ප්‍රජාවට දැඩි බලපෑමක් ඇති කරන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. එසේම, ත්‍රස්ත මර්දන ඒකකයට ලැබෙන සිදුවීම් අතර ළමයින් සහ තරුණ පුද්ගලයින්ගේ සම්බන්ධවීම් කනගාටුදායක ලෙස ඉහළ යමින් පවතින බවද ඇය පෙන්වා දුන්නාය.
මේ අතර, දකුණු ලන්ඩන් ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානී නික් බ්ලැක්බර්න් මහතා අවධාරණය කළේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුවන මෙවැනි සිදුවීම්වල සමුච්චිත බලපෑම කිසිවිටෙකත් අවතක්සේරු නොකළ යුතු බවයි. මෑතකදී සෆොක් (Suffolk) ප්‍රදේශයේ ඉස්ලාමීය උත්සවයකට තර්ජනය කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සහ ලේටන් (Leyton) හි මුස්ලිම් පල්ලියක් අසලදී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක්ද ඔහු සිහිපත් කළේය.
මෙම තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල පොලිස් මුර සංචාර මේ වන විටත් වැඩි කර තිබේ. එක්සත් රාජධානිය තුළ මුස්ලිම් විරෝධී ප්‍රහාරවල ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින්, හදිසි අගුලු දැමීමේ පෙරහුරු (lockdown drills) සිදු කිරීම, පොලිසිය සමග සබඳතා තර කර ගැනීම සහ සීසීටීවී (CCTV) කැමරා පද්ධති වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේදී එරට සියලුම මුස්ලිම් පල්ලි වෙත නව ජාතික මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කර ඇත.