එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් (VAT) බද්ද සියයට 20 දක්වා ඉහළ නංවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි. පසුගියදා රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඇතැම් පාර්ශව මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බව මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා අවධාරණය කළේය.
රජයේ වත්මන් ප්‍රතිපත්තිය වන්නේ පවතින බදු ක්‍රමය සරල කිරීම මිස ජනතාව මත අමතර බදු බරක් පැටවීම නොවන බවද හෙතෙම මෙහිදී සිහිපත් කළේය.නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, මෑතකදී සිදුකළ සංශෝධනය මඟින් සිදු කර ඇත්තේ බැංකු හා මූල්‍ය ආයතන මත පනවා තිබූ බදු වර්ග දෙකක් එකිනෙක ඒකාබද්ධ කිරීම පමණි. මින් පෙර මූල්‍ය සේවා සඳහා සියයට 18ක වැට් බද්දක් සහ සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් (SSCL) වශයෙන් බදු වර්ග දෙකක් අය කළ අතර, එහි සමස්ත එකතුව සියයට 20.5ක් විය. නව ක්‍රමය යටතේ එම සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කර එය වැට් බද්දටම එකතු කර ඇති බැවින්, 2026 ජූලි මාසයේ සිට මූල්‍ය සේවා සඳහා වන වැට් බද්ද සියයට 20.5ක් ලෙස සටහන් වුවද මූල්‍ය ආයතන ගෙවිය යුතු මුළු බදු ප්‍රමාණයේ කිසිදු වැඩිවීමක් සිදු නොවේ.
සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ හා සේවා සඳහා දැනට බලපැවැත්වෙන සියයට 18ක වැට් බදු අනුපාතයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සහතික විය. ජනතාව දිනපතා භාවිත කරන අත්‍යවශ්‍ය භාණ්ඩ මත අමතර බදු බරක් පැටවීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවත්, සමාජ මාධ්‍ය මඟින් සිදු කරන්නේ මහජනතාව නොමඟ යැවීමක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. බදු පරිපාලනය වඩාත් කාර්යක්ෂම කිරීම සහ පවතින සංකීර්ණ බදු වාර්තාකරණ ක්‍රියාවලිය ලිහිල් කිරීම මෙම වෙනසට පාදක වූ ප්‍රධානතම හේතුව බවද ඔහු සඳහන් කළේය.
මීට පෙර බැංකු හා මූල්‍ය ආයතන බදු වර්ග දෙකක් සඳහා වෙන් වෙන් වශයෙන් වාර්තා රැසක් ඉදිරිපත් කිරීමට සිදු වූ අතර, නව ක්‍රමය හරහා එක් බදු වාර්තාවක් පමණක් ඉදිරිපත් කිරීමේ පහසුව ඔවුන්ට හිමි වේ. මෙය බැංකු ක්ෂේත්රය විසින් දීර්ඝ කාලයක සිට කරන ලද ඉල්ලීමක් ඉටු කිරීමක් වන අතර, එමඟින් බදු ගෙවන්නන්ට මෙන්ම බදු එකතු කරන ආයතනවලටද සිය පරිපාලන කටයුතු පහසුවෙන් කරගෙන යාමට අවස්ථාව සැලසේ. බදු ක්රමයේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, ඒ යටතේ වැට් බදු ගෙවන්නන් සඳහා විශේෂ ‘Point of Sale’ (POS) යන්ත්‍ර පද්ධතියක් හඳුන්වා දෙන බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.
මෙම නව තාක්ෂණික පද්ධතිය හරහා සිදුවන ගනුදෙනු පිළිබඳ දත්ත සෘජුවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන බැවින් බදු වාර්තා සැකසීම වඩාත් සරල වනු ඇත. එමෙන්ම බදු ප්‍රතිපූරණ (Refunds) ලබා ගැනීමේදී පවතින ප්‍රමාදයන් මඟහරවා ගනිමින් වඩාත් කඩිනමින් එම මුදල් ලබා දීමට ද රජයට හැකි වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රජයේ අවසන් අරමුණ වන්නේ බදු පදනම පුළුල් කර ආදායම වැඩි කර ගැනීම හරහා දැනට පවතින සියයට 18ක වැට් බදු අනුපාතය අනාගතයේදී තවදුරටත් අඩු කර ජනතාවට සහන සැලසීම බවද නිශාන්ත ජයවීර මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
