kapila-chandrasena-released-on-bail

ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.

බෝදරගම මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.




අධිකරණය විසින් සැකකරු වෙත දැඩි ඇප කොන්දේසි පනවනු ලැබූ අතර, ඒ අනුව රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මීට අමතරව සැකකරුගේ විදේශ ගමන් වළක්වමින් ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය පියවර ගෙන තිබේ.

මෙම නඩුව පසුගිය 28 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න මහතා විසින් ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි. එදින අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට සිය විරෝධය පළ කරන ලදී.




දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇප ඉල්ලීම පිළිබඳ සිය තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරමින් සැකකරු මෙලෙස ඇප මත මුදා හැරීමට නියෝග කළේය.