ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විශේෂ නියෝජිත පිරිසක් අද (17) කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් දේවාජිත් සයිකියා යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා සමඟ පැවති මෙම විශේෂ හමුව සඳහා එක්ව සිටියහ.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මෑතකදී එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද නව සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව පිළිබඳව කරුණු විමසා බැලීම මෙම නිලධාරීන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පරිපාලනය සහ එහි සිදුකෙරෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිදුවූ මෙම මෑතකාලීන වෙනස්කම්වලින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිලධාරීන් සිදුකරන මෙම සංචාරය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන උදෙසා ඉතා තීරණාත්මක වනු ඇතැයි පැවසේ. ජනාධිපතිවරයා හමුවීමට පෙර මෙම නියෝජිත පිරිස ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ක්‍රිකට් පරිවර්තන කමිටුව සහ නව පරිපාලන නිලධාරීන් සමඟ ද සාකච්ඡාවල නිරත වී ඇති අතර, ඔවුන් හෙට දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව ද නිල වශයෙන් මුණගැසීමට නියමිතව ඇත.
