
විදෙස් රැකියාවක නිරතව සිට උපයාගත් රුපියල් ලක්ෂ දහයක පමණ වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ ලබාගැනීමේ අරමුණින් සිය 65 හැවිරිදි මව ඝාතනය කළ බව කියන 32 හැවිරිදි බාල දියණිය සහ ඇගේ 25 හැවිරිදි අනියම් සැමියා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පෙරේදා (16) මෙම සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිරප්පනේ නගර සීමාවේ ඇතුන්ගම මංසන්ධිය අසල පදිංචිව සිටි පී. පද්මලතා නැමති දෙදරු මවකි. ඇය වසර 24කට ආසන්න කාලයක් විදේශගතව ගෘහ සේවිකාවක ලෙස සේවය කර ඇති අතර, ඇගේ මැදිහත්වීම මත බාල දියණියද වසර 14ක පමණ කාලයක් විදේශ රැකියාවක නිරතව සිට ඇත. දියණියගේ පළමු විවාහය අසාර්ථක වීමෙන් පසු, මිතුරියක හරහා හඳුනාගත් කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු සමඟ ඇය අනියම් සබඳතාවක් ගොඩනඟාගෙන තිබේ.
මීට මාස තුනකට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණි දියණිය වළගම්බාහුව පයින්ඩිකුලම ප්‍රදේශයේ පිහිටි ඇගේ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිට ඇත. පසුව මවගේ ඉල්ලීම පරිදි පසුගිය අප්‍රේල් 10 වැනිදා පමණ දියණිය සහ ඇගේ අනියම් සැමියා තිරප්පනේ පිහිටි මවගේ නිවසට පැමිණ ඇති අතර, සැකකාර තරුණයා එම නිවසේ තාප්පය ඉදිකිරීමේ අත්වැඩකරුවෙකු ලෙසද කටයුතු කර තිබේ. කෙසේ වෙතත්, මොවුන් තිදෙනා එකට ජීවත්වන කාලය තුළ මුදල් සම්බන්ධයෙන් නිතර ගැටුම් හටගෙන ඇත.
පසුගිය මැයි 11 වැනිදා මව විසින් දියණියගේ අනියම් සැමියාට නිවසින් පිටව යන ලෙස දැනුම් දී ඇති අතර, ඔහු තම ගම වන ඉබ්බාගමුවට යන බව පවසා පයින්ඩිකුලම පිහිටි පුංචි අම්මාගේ නිවසට ගොස් තිබේ. පසුදින (12) දියණියද විදේශගත වීම සඳහා ගමන් බලපත්‍රය සකසා ගැනීමට අවශ්‍ය බව පවසමින් පුංචි අම්මාගේ නිවසට ගොස් ඇත. එදින රාත්‍රී 7.00ට පමණ දියණිය කුලී ත්‍රිරෝද රථයකින් නැවත මවගේ නිවසට පැමිණ ඇති අතර, අනියම් සැමියා තිරප්පනේ අවන්හලකින් මත්පැන් පානය කර රාත්‍රී කාලයේදී නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඝාතනයෙන් පසු මෙම යුවළ බස් රථයකින් දඹුල්ල ප්‍රදේශයට ගොස් එහි හෝටලයක ලැගුම්ගෙන ඇත. පසුදින දියණිය විසින් මවට දුරකථන ඇමතුම් ලබා දී ප්‍රතිචාර නොමැති බැවින් නිවසට පැමිණි බවත්, මව අසනීප තත්ත්වයෙන් ඇඳ මත මියගොස් සිටි බවත් පවසමින් තිරප්පනේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තිරප්පනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඩී.එස්.කේ.පී. ජයතිලක මහතාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනවලදී ඥාතීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ මෙය ඝාතනයක් බවට පොලීසිය සැක පහළ කර ඇත. අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.
පසුගිය 15 වැනිදා තිරප්පනේ පොදු සුසාන භූමියේදී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබූ අතර, දේහය නිවසින් රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේදී පොලීසිය විසින් දියණිය, ඇගේ අනියම් සැමියා සහ පුංචි අම්මා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

