බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙසද කටයුතු කරන ඒ මහතා, තමන් මුහුණ දී ඇති දැඩි කාර්යබහුලත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව සඳහන් කරයි.
ආණ්ඩුකාරවරයකු ලෙස පැවරී ඇති රාජ්‍ය තාන්ත්‍රික වගකීම් මෙන්ම විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ජනාධිපති විශේෂ නියෝජිතයා ලෙස පැවරී ඇති අතිරේක රාජකාරි ද්විත්වයම එකවර ඉටු කිරීම දැඩි අභියෝගයක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි. මීට අමතරව සිය පවුලේ වගකීම්ද මනාව සමබරව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් තමන් මෙම තීරණයට එළඹි බව යූසුෆ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත මීට පෙර අවස්ථාවකදීම ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබූ බව පවසන ඒ මහතා, මෑතකාලීනව මාධ්‍ය තුළ පළවූ විවිධ අනුමාන කිරීම්වලට පැහැදිලි කිරීමක් එක්කරමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළේය. කෙසේ වුවද, පළාත් පාලන පරිපාලනයේ සුමට හා විධිමත් සංක්‍රාන්ති කාලසීමාවක් සහතික කිරීම වෙනුවෙන්, ජනාධිපතිවරයා විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු එම ධුරය සඳහා පත් කරන තෙක් තමන් අඛණ්ඩව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බවද ඔහු එහි දක්වා තිබේ.
ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුවද ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට උපරිම සහාය දැක්වීමට තමන් බලාපොරොත්තු වන බව හනීෆ් යූසුෆ් මහතා අවධාරණය කරයි. ඒ අනුව, විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගනිමින් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා තමන් සතු ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කර ගනිමින්, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට තමන් දරන ස්වේච්ඡා තනතුරේ අඛණ්ඩව සේවය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.
රට වෙනුවෙන් මෙවැනි වගකීම් සහගත ධූරයක් හොබවමින් දේශයේ ප්‍රගතිය උදෙසා දායක වීමට ලැබීම තමන් ලැබූ භාග්‍යයක් කොට සලකන බව පවසන ඒ මහතා, තමන් කෙරෙහි තැබූ විශ්වාසය සහ මෙම අවස්ථාව ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා වෙත සිය කෘතවේදීත්වය පිරිනමයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවය කිරීම සඳහා තමා තුළ ඇති කැපවීම කිසිසේත් වෙනස් නොවන බව පවසමින් හනීෆ් යූසුෆ් මහතා සිය නිවේදනය අවසන් කර තිබේ.
