ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන විශේෂ පහත් පතුල් සහිත බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස අද (21) දින ආරම්භ කෙරිණි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවති මෙම සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ.
වත්මන් රජයේ 'සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්' යන ප්‍රතිපත්තිමය දැක්ම පෙරදැරිව මෙම වැඩසටහන දියත් කර තිබේ. රුපියල් මිලියන 430.7ක මූල්‍ය ප්‍රතිපාදන ආයෝජනය කරමින් ක්‍රියාත්මක කර ඇති මෙම පියවර, 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ දියත් වන තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකිය.
මූලික අදියර යටතේ මෙම බස් සේවාව මාකුඹුරේ සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිත අතර, මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් එය තෝරාගත් බස් නැවතුම් 07කට පමණක් සීමා කර ඇත. මීට අමතරව, අදාළ බස් රථවල ගමන් ගන්නා මගීන්ට තම ප්‍රවාහන කටයුතු වඩාත් පහසු කර ගැනීම වෙනුවෙන් සකස් කරන ලද නවතම ජංගම දුරකථන මෘදුකාංගයක් (Mobile App) හඳුන්වා දීම ද මෙම උත්සවයට සමගාමීව සිදු කෙරිණි.

