government-announcement-about-providing-fuel-to-qr-code

මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් මාර්ගවලට එල්ල වී ඇති බාධා සහ ඇතැම් පිරිස් විසින් සිදුකරන නීතිවිරෝධී ඉන්ධන රැස්කිරීම් පාලනය කිරීමේ අරමුණින්, ජාතික ඉන්ධන අවසරපත්‍රය හෙවත් QR කේත ක්‍රමය අද (2026 මාර්තු 15) උදෑසන 6.00 සිට යළි ක්‍රියාත්මක කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ශාන් මොහොමඩ් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, අද උදෑසන 6.00න් පසු QR කේතය නොමැතිව කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කරනු නොලැබේ.

පවතින සීමිත තෙල් සංචිත ආරක්ෂිතව කළමනාකරණය කරමින් ජන ජීවිතය හා ආර්ථික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගත් බව රජය පෙන්වා දෙයි.




මෙම නව ක්‍රමවේදය යටතේ QR කේතය ලබාගැනීම සඳහා ජනතාවට https://fuelpass.gov.lk/ වෙබ් අඩවිය භාවිත කළ හැකිය. මීට පෙර මෙම පද්ධතියේ ලියාපදිංචි වී ඇති, එහෙත් වාහනයේ හිමිකාරීත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති පුද්ගලයින්ට ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිටම සිය කේතය බාගත කරගැනීමට අවස්ථාව සලසා දී තිබුණි. කෙසේ වෙතත්, පෙර ලියාපදිංචි වී හිමිකාරීත්වය හෝ දුරකථන අංකය වෙනස් වූ අය, මීට පෙර කිසිදා ලියාපදිංචි නොවූ අය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුතින්ම ලියාපදිංචි කළ වාහන හිමිකරුවන් අද උදෑසන 6.00 සිට අදාළ වෙබ් අඩවිය ඔස්සේ නව ලියාපදිංචියක් සිදු කළ යුතු වේ. මීට අමතරව, රටේ නිෂ්පාදන කටයුතු සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය රථවාහන සඳහා අදාළ ආයතන සමඟ එක්ව වෙනමම විශේෂ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

නව QR පද්ධතිය යටතේ එක් එක් වාහන කාණ්ඩ සඳහා සතියකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයන් ද මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව, යතුරුපැදි සහ ක්වොඩ්‍රිසයිකල් (Quadricycle) සඳහා සතියකට ඉන්ධන ලීටර 5ක් ද, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා ලීටර 15ක් ද හිමිවනු ඇත. ඉඩම් වාහන සඳහා ලීටර 25ක කෝටාවක් වෙන්කර ඇති අතර, වෑන් රථ සහ විශේෂ කාර්ය වාහන සඳහා සතිපතා හිමිවන ඉන්ධන ප්‍රමාණය ලීටර 40කි. බස් රථ සඳහා ලීටර 60ක් සහ මෝටර් ලොරි සඳහා ලීටර 200ක උපරිම ඉන්ධන ධාරිතාවක් ලබා දී ඇත. එසේ වුවද, පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වෙනමම සිදුකෙරෙනු ඇත.

government-announcement-about-providing-fuel-to-qr-code