the-story-of-sexual-harassment-of-a-female-parliamentarian-is-a-hoax

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරිනියකට බරපතළ අසාධාරණකම් මෙන්ම විවිධ තාඩන පීඩන සිදුවී ඇති බවත්, එහෙත් ඇය දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තියට අයත් කිසිදු ආකාරයක ලිංගික හිංසනයකට ලක්ව නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව විසින් සිය අවසන් වාර්තාව පසුගිය 19 වැනි දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව වෙත භාරදෙනු ලැබීය.




අදාළ නිලධාරිනිය දත්ත පදනම් පරිපාලන සහ පාර්ලිමේන්තු නිලධාරී යන තනතුරු සඳහා පැවති සම්මුඛ පරීක්ෂණවලදී දැඩි අගතියකට ලක්ව ඇති බව වාර්තාව පෙන්වා දෙයි. ඇය එම තනතුරු සඳහා නුසුදුසු බවට දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් පූර්ව නිගමනයකට එළඹ එම අදහස සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ හේතුවෙන් ඇයට ලකුණු ලබානොදීමට මණ්ඩලය තීරණය කිරීම මත නිලධාරිනියට හිමිවීමට තිබූ වෘත්තීය අවස්ථා අහිමි වී ගොස් ඇත. එමෙන්ම, පාර්ලිමේන්තු නිලධාරී තනතුරේ සම්මුඛ පරීක්ෂණයේදී විෂය පථයෙන් බාහිරව නිවාඩු ලබාගැනීම් සහ පරිපාලන ගැටලු සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කර ඇති බවද කමිටුව නිරීක්ෂණය කර තිබේ. මීට අමතරව, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඇයගේ 2024 සහ 2025 වර්ෂ සඳහා වන වැටුප් වර්ධක ගෙවීම් ද ප්‍රමාද කර ඇත.

මෙම නිලධාරිනියට ලබාදී ඇති තාවකාලික යැයි කියන ස්ථාන මාරුව ඇයගේ සුදුසුකම්වලට කිසිසේත් නොගැලපෙන අංශයකට කිසිදු පිළිගත හැකි පදනමකින් තොරව සිදුකර ඇති එකක් බව කමිටුවේ නිගමනය වී තිබේ. ඒ අනුව, වින්දිත නිලධාරිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයගේ නිත්‍ය තනතුර වන තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහාය කවුළු සම්බන්ධීකරණ සහකාර තනතුරේ රාජකාරී සඳහා යළි ස්ථානගත කළ යුතු බවට නිර්දේශ කර ඇත. එසේම, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සෙසු නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ඇයට යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කර දිය යුතු අතර, ඇයගේ රාජකාරී බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය පරිපාලන ක්‍රමවේද සහ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ලබාදීමට ද කමිටුව විසින් යෝජනා කර තිබේ. ඇයගේ හිඟ වැටුප් වර්ධක සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ගෙන ඒ බව ඇයට දැනුම් දෙන ලෙසද එහි වැඩිදුරටත් දැක්වේ.




පාර්ලිමේන්තුවේ පරිපාලන කටයුතු සහ පාලන ක්‍රමවේදයන්හි පවතින දුර්වලතා හා ප්‍රමාදයන් හේතුවෙන් නිලධාරීන්ගේ විනය ක්‍රියාමාර්ග සහ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමේදී ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බව මෙම විමර්ශනයේදී තහවුරු වී ඇත. එබැවින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මනා පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ගේ රාජකාරී ලැයිස්තු විධිමත් විශ්ලේෂණයකට ලක් කර සමීපව නිරීක්ෂණය කළ යුතු බව කමිටුව අවධාරණය කරයි. නිලධාරීන්ගේ දුක්ගැනවිලි කළමනාකරණය කිරීම සහ අවශ්‍ය උපදේශනය ලබාදීම සඳහා ඵලදායී වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ද වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

පාර්ලිමේන්තු අංශ අතර පරිපාලන සබඳතා ශක්තිමත් කරමින් වගකීම් නිශ්චිතව බෙදා හැරීමට සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව කමිටු නිර්දේශවල සඳහන් වේ. එමෙන්ම, පාර්ලිමේන්තුවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේදී සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කර අනුගමනය කළ යුතු බවටද උපදෙස් දී ඇත. කාර්ය මණ්ඩල බඳවා ගැනීම්, උසස්වීම් ලබාදීම, පුහුණු කිරීම් සහ විනය පවත්වාගෙන යාම ඇතුළු සමස්ත මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ ගෞරවය සහ උත්තරීතරභාවය ආරක්ෂා වන අයුරින් අතිශය විනිවිදභාවයකින් යුතුව සිදුකිරීම තහවුරු කළ යුතු බව මෙම කමිටු වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.



සේවිකාවකට ලිංගික හිංසනයක් සිදුව ඇති කතාව පාර්ලිමේන්තුව තුළත් පිටතත් දැඩි ආන්දෝලනයක් ඇති කළ නමුත් අවසානයේ කමිටුව කළ විහ්ලේෂණය අනුව රැකියා ස්ථානයේ පීඩනයක් පමණක් බව තීරණය කර තිබේ.