රාජ්‍ය සේවකයින්ට සහන පොලී යටතේ නිවාස හා දේපළ ණය ලබා දීම සම්බන්ධයෙන් වූ ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 2026.02.27 දිනැතිව නිකුත් කර ඇති අංක 08/2026 දරන මෙම චක්‍රලේඛයට අනුව, රාජ්‍ය නිලධාරියෙකුට ලබාගත හැකි උපරිම ණය මුදල සහ ඊට අදාළ පොලී අනුපාතයන් ගණනය කිරීමේ ක්‍රමවේදය නව සංශෝධනවලට ලක්ව ඇත.
මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා විසින් මෙය නිකුත් කර තිබේ.මෙම නව සංශෝධනයට අනුව, රාජ්‍ය නිලධාරියෙකුට හිමිකම් කිව හැකි උපරිම ණය මුදල වන්නේ ඔහුගේ හෝ ඇයගේ දීමනා රහිත වසර හතක (07) ඒකාබද්ධ වැටුප හෝ රුපියල් ලක්ෂ පනහක (5,000,000) මුදල යන අගයන් දෙකෙන් අඩු මුදලයි. ඒ අනුව මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන්ට නිවාස හා දේපළ ණය ලබා ගැනීමේදී මෙම සීමාවන් අදාළ වනු ඇත.
මෙම ණය මුදල් සඳහා බැංකු විසින් අය කරනු ලබන උපරිම පොලී ප්‍රතිශතය ගණනය කරනු ලබන්නේ අදාළ වර්ෂයට පෙර වර්ෂයේ දෙසැම්බර් මාසය සඳහා ප්‍රකාශිත සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය පොලී අනුපාතයට (AWPLR) උපරිම වශයෙන් සියයට දෙකක (2%) පරිපාලන ගාස්තුවක් එකතු කිරීමෙනි. මෙම සම්පූර්ණ පොලියෙන් කොටසක් රජය විසින් දරනු ලබන අතර ඉතිරිය නිලධාරියා විසින් ගෙවිය යුතුය. රුපියල් ලක්ෂ තිහ (3,000,000) දක්වා වන ණය මුදලක් සඳහා රජය විසින් සියයට හතරක (4%) පොලී ප්‍රතිශතයක් ගෙවනු ලබන අතර, නිලධාරියා විසින් ගෙවිය යුත්තේ මුළු බැංකු පොලියෙන් (AWPLR + 2%) එම සියයට හතර අඩු කළ පසු ඉතිරි වන ප්‍රතිශතයයි. එසේම රුපියල් ලක්ෂ තිහේ සිට උපරිමය වන ලක්ෂ පනහ (5,000,000) දක්වා වන ණය මුදල් සඳහා රජය සියයට දෙකක (2%) පොලී ප්‍රතිශතයක් ගෙවන අතර, එහිදී නිලධාරියා ගෙවිය යුත්තේ මුළු බැංකු පොලියෙන් එම සියයට දෙක අඩු කළ පසු ඉතිරි වන අගයයි. විශේෂයෙන්ම, ලබා ගන්නා ණය මුදල වෙනුවෙන් තීරණය වන මෙම පොලී ප්‍රතිශතය අදාළ ණය මුදල ගෙවා අවසන් වනතුරුම කිසිදු වෙනසකින් තොරව ස්ථාවරව පවතිනු ඇත.
මෙම නව පොලී අනුපාත සහ සංශෝධිත විධිවිධාන බලාත්මක වන්නේ 2026 මාර්තු මස පළමුවැනිදා (2026.03.01) හෝ එදිනට පසුව ලබා දෙනු ලබන නිවාස හා දේපළ ණය සඳහා පමණි. ඊට පෙර පැවති අංක 15/2007 දරන චක්‍රලේඛය හා ඊට ආනුෂංගික චක්‍රලේඛ යටතේ දැනටමත් ලබාගෙන ඇති ණය මුදල් සඳහා මෙම නව සංශෝධන අදාළ නොවේ. මීට අමතරව ආයතන සංග්‍රහයේ අදාළ පරිච්ඡේදයට අයත් 28 වැනි පරිශිෂ්ටය සංශෝධනය කරමින් නිවාස හා දේපළ ණය ලබාගත හැකි බැංකු නාම ලේඛනය ද යාවත්කාලීන කර ඇති අතර, රාජ්‍ය නිලධාරීන් සඳහා බැංකු මගින් ණය ලබාදීමට අදාළ සෙසු සියලුම විධිවිධාන කිසිදු වෙනසකින් තොරව තවදුරටත් බලාත්මක වනු ඇත.
>

