how-mossad-and-8200-unit-hacked-gps-and-spied-on-khamenei-officials-lifestyles

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පසුගිය සෙනසුරාදා ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. ටෙහෙරානයේ පැස්චර් වීදියේ පිහිටි ඔහුගේ කාර්යාලයට මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඔහු තවත් ප්‍රමුඛ පෙළේ ඉරාන නායකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡාවක නිරත වෙමින් සිටියේය.

මෙම මෙහෙයුම සඳහා ඊශ්‍රායලය විසින් කාර්යාල ගොඩනැගිල්ල වෙත මිසයිල තිහක් පමණ හෙළා ඇති අතර, ඉන් කමේනි ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හතළිහක් පමණ මිය ගොස් ඇත.




මෙම ඝාතනය හුදෙක් ක්ෂණික තීරණයක් නොව, ඊශ්‍රායලය විසින් වසර ගණනාවක් තිස්සේ සැලසුම් කරන ලද්දකි. ඊශ්‍රායල ඔත්තු සේවා ඒජන්සිය වන මොසාඩ් සහ ඔවුන්ගේ 8200 ඒකකය එක්ව ටෙහෙරාන් අගනුවර පිහිටි සියලුම රථවාහන කැමරා හැක් කරමින් මෙම තොරතුරු ජාලය ගොඩනඟා ඇත. එම කැමරා මගින් ලබා ගන්නා දර්ශන සංකේතනය කර ටෙල් අවීව් සහ දකුණු ඊශ්‍රායලයේ පිහිටි සේවාදායකයන් වෙත රහසිගතව යවා තිබේ.

මෙම සංකීර්ණ මෙහෙයුම සඳහා ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවා නියෝජිතායතනයේ (CIA) සහාය ද හිමි වී ඇති අතර, විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ආරක්ෂකයින් සහ රියදුරන් තම වාහන නවතා තබන ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා ඔවුන් විශේෂිත කැමරාවක් භාවිතා කර ඇත. නිලධාරීන්ගේ නිවාස, ඔවුන් රාජකාරියට වාර්තා කරන වේලාවන්, ගමන් ගන්නා මාර්ග සහ ඔවුන් ආරක්ෂාව සපයන ප්‍රභූන් පිළිබඳව ඔත්තු සේවාවන් හැඳින්වූ 'ජීවන රටාව' (Pattern of Life) නම් සංකල්පය යටතේ පුළුල් දත්ත සමුදායක් රැස් කරගැනීමට මෙමගින් හැකියාව ලැබී තිබේ.




ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී ආරක්ෂක අංශ වෙත කිසිදු අනතුරු ඇඟවීමක් නොලැබෙන පරිදි පැස්චර් වීදිය අවට ඇති ජංගම දුරකථන කුලුනු හැක් කිරීමටද ඊශ්‍රායලය පියවර ගෙන තිබුණි. ඊශ්‍රායලයේ 8200 ඒකකය, මොසාඩ් හි මානව සම්පත් සහ යුද බුද්ධි අංශ එක්ව බිලියන ගණනක දත්ත ලක්ෂ්‍යයන් විශ්ලේෂණය කිරීම සඳහා 'සමාජ ජාල විශ්ලේෂණය' (Social Network Analysis) නමැති ගණිතමය ක්‍රමවේදය භාවිතා කර ඇත. ටෙහෙරානය යෙරුසලම තරමටම තමන් හොඳින් හඳුනන බවත්, එහි සිදුවන කුඩා වෙනසක් පවා තමන්ට ග්‍රහණය කරගත හැකි බවත් ඊශ්‍රායල ඔත්තු සේවා නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

සෙනසුරාදා උදෑසන කමේනි තම කාර්යාලයේ ඉහළ පෙළේ නායකයින් සමඟ රැස්වීමක් පවත්වන බවට ඔත්තුකරුවන් දෙදෙනෙකු විසින් තහවුරු කිරීමෙන් පසු, CIA සහ ඊශ්‍රායල බලධාරීන් මෙය කදිම අවස්ථාවක් කරගනිමින් ප්‍රහාරය දියත් කර ඇත. යුද්ධයක් ආරම්භ වූ පසු ඔහු බංකර තුළ සැඟවීමට ඉඩ ඇති බැවින්, මෙම හදිසි ප්‍රහාරය සැලසුම් කර තිබේ. හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා මෙන් බංකරවල සැඟවී සිටීම ප්‍රතික්ෂේප කළ කමේනි, තම මරණයෙන් කිසිදු බලපෑමක් නොවන බව මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.



1989 වසරේදී රුහොල්ලා කුමේනිගේ අභාවයෙන් පසු ඉරානයේ උත්තරීතර නායකයා බවට පත් වූ අයතුල්ලා අලි කමේනි, වසර 37ක් පුරා එම ධුරය දැරීය. 1979 ඉස්ලාමීය විප්ලවයේදී ෂා මොහොමඩ් රේසා පහ්ලවි පාලනය පෙරළා දැමීමේලා ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. 1981 වසරේදී ජනාධිපති ධුරයට පත් වූ ඔහු වසර අටක් එම තනතුරේ කටයුතු කළ අතර, එම වසරේදීම මුස්ලිම් පල්ලියකදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවා ගැනීමටද සමත් විය.

මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කමේනිගේ බිරිඳ වන මන්සූරේ කොජාස්ටේ බගර්සාදේ ද, ප්‍රහාරයෙන් දින දෙකකට පසු සඳුදා දින ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර ඇත. 1947 වසරේ මෂ්හාඩ් නුවර ආගමික පවුලක උපත ලැබූ ඇය 1964 වසරේදී කමේනි සමඟ විවාහ වූවාය.

මීට පෙර 2025 ජුනි මාසයේදී දින 12ක් පුරා පැවති යුද්ධයකදී ඊශ්‍රායලය විසින් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුම ඝාතනය කර තිබුණි. එහිදී සයිබර් ප්‍රහාර, කුඩා ඩ්‍රෝන යානා සහ කිලෝමීටර් 1000කට වඩා දුරින් ඇති ඉලක්ක වෙත පහර දිය හැකි 'ස්පැරෝ' (Sparrow) මිසයිල භාවිතා කරමින් ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. මෙවර ප්‍රහාරය සඳහාද ඊශ්‍රායල ප්‍රහාරක යානා පැය කිහිපයක් පියාසර කරමින් නිශ්චිත ඉලක්ක වෙත මිසයිල 30කට වඩා මුදා හැර ඇත.

මෙම ඝාතනය පසුබිමෙහි ඇමරිකාව සහ ඉරානය අතර න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් පැවති දැඩි අර්බුදය ප්‍රධාන සාධකයක් විය. 2025 පෙබරවාරි 17 වන දින ජිනීවා නුවර පැවති සාකච්ඡා බිඳ වැටීමත් සමඟ ඇමරිකාව ඉරානය වටලෑම ආරම්භ කළේය. ඒ අනුව USS ජෙරල්ඩ් ෆෝඩ් සහ USS ඒබ්‍රහම් ලින්කන් යන ගුවන් යානා ප්‍රවාහන නෞකා මැද පෙරදිගට යැවූ අතර, මෙය 2003 ඉරාක ආක්‍රමණයෙන් පසු කලාපය තුළ සිදු කළ විශාලතම ඇමරිකානු හමුදා යෙදවීම විය. මීට අමතරව ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා 150ක් පමණ ස්ථානගත කළ අතර, පෙබරවාරි 24 වන දින ඊශ්‍රායලයේ බෙන් ගූරියන් සහ ඔව්දා ගුවන් කඳවුරු වෙත F-22 ප්‍රහාරක යානා 12ක් ද යොදවා තිබුණි.