45-million-out-of-the-150-million-due-to-passengers-who-booked-train-seats-before-ditva-have-been-paid

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දුම්රිය මාර්ග අවහිර වීම නිසා, කලින් ආසන වෙන්කරවා ගත් මගීන් වෙනුවෙන් ආපසු ගෙවිය යුතු මුළු රුපියල් මිලියන 150 න් රුපියල් මිලියන 45 කට අධික මුදලක් ඊයේ (23) සවස වන විට ගෙවා ඇති බව වාර්තා වේ.




දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේ, මෙම ආපසු ගෙවීම් කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන් පමණක් සිදු නොවන බවත්, තවත් දුම්රිය ස්ථාන කිහිපයකින් ද එම කටයුතු ක්‍රියාත්මක වන බවත්ය. වැඩිම දුම්රිය ආසන සංඛ්‍යාවක් වෙන්කරගෙන ඇත්තේ උඩරට මාර්ගයේ ගමන් කිරීමට බවත්, මේ වන විටත් උඩරට දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සම්පූර්ණ ගමනාන්තය දක්වා ධාවනය නොවන බවත් ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලේකම්වරයා ලබාදුන් තොරතුරු අනුව, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පමණක් රුපියල් 39,458,175 ක් ආපසු ගෙවා ඇති අතර, මරදාන දුම්රිය ස්ථානයෙන් රුපියල් 6,170,375 ක් ගෙවා තිබේ.




සාමාන්‍යයෙන් දුම්රිය ආසන වෙන්කරවා ගැනීම මාසයකට පෙර සිදු කෙරේ. ඒ අනුව, පසුගිය 27 වැනිදා සිට ලබන 27 වැනිදා දක්වා වූ කාලය තුළ සිදුකළ ආසන වෙන්කිරීම් මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 150 ක ආදායමක් ලැබී තිබිණි. මෙම මුදල් ආපසු ගෙවීමේ කටයුතු දෙසැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. මුදල් ආපසු ලබා ගැනීම සඳහා ලබාගත් ප්‍රවේශපත්‍රය මෙන්ම, ආසන වෙන්කරගත් මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපත් දුම්රිය ස්ථාන වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.