දිවයිනේ දකුණු මුහුදු තීරයේදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව අද (24) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ. අද පෙරවරු 6.00 පමණ වන විට එම යාත්‍රාව වරායට ළඟා වූ බව නාවික හමුදාව ප්‍රකාශ කළේය. යාත්‍රාවේ සිටි සැකකරුවන් පස්දෙනාද මේ වන විට නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම යාත්‍රාවෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මලු එකොළහක අසුරා තිබූ අයිස් සහ හෙරොයින් බවට හඳුනාගෙන ඇතැයි නාවික හමුදාව තහවුරු කළේය. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ඊයේ (23) ප්‍රකාශ කළේ, රටට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ප්‍රවාහනය කරමින් සිටි බහුදින යාත්‍රාවක් සහ එහි සිටි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම නාවික හමුදාව ගැඹුරු මුහුදේ දින කිහිපයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුමක ප්‍රතිඵලයකි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම බහුදින යාත්‍රාව මත්ද්‍රව්‍ය තොගය රැගෙන ඒම සඳහා ගන්දරින් පිටත්ව ගිය එකක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. නාවික හමුදා ආරංචි මාර්ගවලට අනුව, ඉරාක නෞකාවකින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය මෙම බහුදින යාත්‍රාවට පටවා තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් පස්දෙනා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.