මහනුවර අංකුඹුර, ගල්කන්ද ප්‍රදේශයෙන් ඛේදනීය පුවතක් වාර්තා වේ. නාය යෑමේ අවදානමක් හේතුවෙන් වසා දමා තිබූ නිවසක හටගත් හදිසි ගින්නකින් එහි සිටි පුද්ගලයකු පිලිස්සී මියගොස් ඇති බව අංකුඹුර පොලිසිය තහවුරු කරයි.
ඊයේ (23) උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න නිවා දැමීමෙන් පසු පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී පිළිස්සුණු මළ සිරුර නිවස තුළ තිබී සොයාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි නිහාල් ප්‍රේමචන්ද්‍ර නැමැත්තෙකි. ඔහුගේ සිරුර කිසිසේත් හඳුනාගත නොහැකි ලෙසට පිලිස්සී තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, පසුගිය දිනවල පැවැති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් නාය යෑමේ අවදානමක් මතුවීම නිසා මෙම නිවසේ හිමිකරු වන ඩබ්ලිව්.සී. සෙනවිරත්න මහතා තම පවුලේ සාමාජිකයන් සමඟ නිවසින් පිටව ගොස් මීගමුවේ පදිංචි සිය දියණියගේ නිවසේ රැඳී සිටි බවයි.
කෙසේ හෝ මියගිය පුද්ගලයා මෙම නිවසට ඇතුළු වී ඇති අතර, ගින්න හේතුවෙන් නිවසට ද බරපතළ අලාභ හානි සිදුව ඇත.
මෙම මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අංකුඹුර පොලිසිය මේ වන විට ප්‍රදේශවාසීන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.